පොදු ප්‍රවාහනයට චම්පිකගෙන් A/C බස්

    August, 8, 2018

    පොදු ප්‍රවාහන සේවා සඳහා වායු සමීකරණය කරන ලද වඩාත් සුව පහසු හා ආරක්ෂිත බස් රථ සේවයට යෙදවීමට බස් හිමියන් දිරිගැන්වීම සඳහා යෝජනාවක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. එම යෝජනාවෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    බස්නාහිර පළාත තුළ පවතින අධික මාර්ග තදබදය අවම කිරීමේ ප්‍රමුඛ පියවරක් ලෙස, දැනට තම ගමනාගමන පහසුකම් සඳහා පුද්ගලික රථවාහන භාවිත කරන මඟීන්, පොදු ප්‍රවාහන සේවා සඳහා ආකර්ෂණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ ගමනාන්තය වෙත ළඟා වීමට හැකිවන පරිදි, බස් ප්‍රමුඛතා මංතීරුව මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි.

    එම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ අරමුණින් පොදු ප්‍රවාහන සේවා සඳහා දැනට භාවිතා කෙරෙන බස්රථ වෙනුවට වායු සමීකරණය කරන ලද පත්ළ පහත් වඩාත් සුව පහසු හා ආරක්ෂිත බස් රථ සේවයට යෙදවීමට බස්රථ හිමියන් දිරිගැන්වීම සඳහා ඔවුන් වෙත 'ව්‍යවසාය ශ්‍රී ලංකා වැඩසටහන' යටතේ සහන ණය පහසුකම් සැලසීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.