පොදු මහජනතාවට බරක් නොවන ආකාරයට මූල්‍ය විනය ක්‍රියාත්මක විය යුතුයි – ජනාධිපති ආර්ථික සමුළුවේ දී කියයි VIDEO

    August, 2, 2016

    දෛනික ජීවිතයේ දී පොදු මහජනතාවට බරක් නොවන ආකාරයට හා ඔවුන් ආර්ථික අපහසුකම්වලට පත්නොවන අයුරින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා මූල්‍ය විනය ක්‍රියාමත්මක විය යුතු බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අද (02) දින ආරම්භ වූ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016 සමාරම්භක සැසිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

    “රාජ්‍ය පරිපාලනය තුළ දැඩි මූල්‍ය විනයක අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට තිබුණා. පසුගිය කාලයතුළ රජයේ මූල්‍ය පරිපාලනය හා මූල්‍ය විනය තුළ දැඩි පිරිහීමක් දක්නට ලැබුණා. කෝටි නව ලක්ෂයක අති දැවැන්ත ණය බරක් දරා ගැනීමටත් රජයටත් මහජනතාවටත් සිදුවී තිබෙනවා.“

    “පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය ආර්ථිකයට ලබා දුන් දායකත්වය පිළිබඳ සෑහීමකට පත්වන්නට බැහැ. එය 8%-10% ත් අතර ප්‍රමාණයක තිබෙන්නේ. අඩුම තරමින් එම අංශයේ දායකත්වය 20% ක් වත් විය යුතුයි.“

    “මා හමුවූ මැණික් ව්‍යාපාරිකයින් පිරිසක් කියා සිටියා, මෙරට ආයෝජනය කළ හැකි විශාල මුදලක් ඔවුන් සතු බව. ඒ සඳහා රජයේ සහයෝගය අවශ්‍ය බව ඔවුන් පැවසුවා. දේශීය කර්මාන්තවල ආයෝනය කිරීමට ඔවුන් කැමතිියි. ඔවුන් කියා සිටියේ ඒ සඳහා ඔවුන්ට බදු සහන අවශ්‍යයි කියා.“

    “ආදායම් බදු ගෙවන මිනිහාගෙන් හැමදාම ගන්නවා. අපි කළ යුත්තේ බදු නොගෙවන කෙනාගෙන් එය ලබා ගැනීම හා බදු ගෙවන පුද්ගලයාට හැමදාම කරදර නොකර සිටීමයි.“

    මෙම ආර්ථික සමුළුව අද සහ හෙට දෙදින තුළ කොළඹ දී පැවැත්වෙන අතර රාජ්‍ය හා පුද්ගලික අංශ ව්‍යාපාරික ප්‍රධානීන රැසක් මෙම සමුළුව ඇමතීමට නියමිතය. අද දින සමාරම්භක සැසිවාරය සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු පිරිසක් එක්වූහ.

    https://www.youtube.com/watch?v=FBCDsiNnaaU