පොලී අනුපාතික වැඩි වෙන්නේ නැහැ – මහ බැංකුව අවධාරණය කරයි

    March, 6, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන පුරෝකථනවලට අනුව, මෑත කාලීනව වෙළෙඳපොළ පොලී අනුලාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. මතුපිට උද්ධමනය, මූලික උද්ධමනය, උද්ධමන අපේක්ෂා, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය, ණය ප්‍රසාරණය, ආර්ථික කටයුතුවල ප්‍රසාරණය මෙන්ම ජාත්‍යන්තර සංචිත මට්ටමෙහි මෑත කාලීන වෙනස්වීම්වලට අනුව තාර්කික වෙළෙඳපොළක් පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා කරන්නේ යැයි සාධාරණීයකරණය කළ නොහැක.

    ආහාර උද්ධමනයෙහි සිදුවූ පහළ යෑමත් සමඟ අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ වේගයකින් මතුපිට උද්ධමනය මැදි-තනි අගයක මට්ටමට නැවත ළඟා වී ඇති අතර, ඉල්ලුමෙන් ඇතිවන උද්ධමනය පිළිබිඹු කරන දර්ශකයන් වන මූලික උද්ධමනය පහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකා මහ බැංකුවේ උද්ධමන අපෙක්ෂා සමීක්ෂණයට අනුව උද්ධමන අපේක්ෂා මධ්‍යස්ථ මට්ටමකට පැමිණ ඇත. උද්ධමන පීඩනයක් ඇති නොකොට සමස්ත ඉල්ලුමෙහි ඉහළ යෑමක් සඳහා තවදුරටත් අවකාශ ඇති බව පෙන්නුම් කරමින් ආර්ථික වර්ධනය ආර්ථිකයට ළඟා විය හැකි උපරිම මට්ටමට වඩා පහළ අගයක පවතී.

    2017 වසර අවසානය වන විට පුළුල් මුදල් ප්‍රසාරණය සහ ණය ප්‍රසාරණය අපේක්ෂිත මට්ටම් දක්වා පහළ ගොස් ඇත. රාජ්‍ය මූල්‍ය අංශය සම්බන්ධව, ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ රාජ්‍ය ආදායම වැනි ඇතැම් දර්ශකවල වැඩිදියුණු වීමක් පෙන්නුම් කර ඇත.

    විදේශීය අංශය සැලකූ විට, නිල විදේශ සංචිත 2016 වසර අවසානයේ පැවති එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 හා සාපෙක්ෂව වර්තමානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 7.9 ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. නිල සංචිතවල සංඛ්‍යාත්මක සහ ගුණාත්මක යන දෙඅංශයෙන්ම වර්ධනයක් වාර්තා වී ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව 2017 වසරේ දී දේශීය වෙළෙඳපොළෙන් ශුද්ධ පදනම මත එක්සත් ජනපද ඩොලර් බිලියන 1.7 ක් සහ 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 284 ක් මිල දී ගෙන ඇත.

    මෑතකාලීන ගෝලීය වෙළෙඳපොළ වර්ධනයන් සහ ආර්ථිකමය නොවන සාධක හේතුකොටගෙන ඇති වූ දේශීය අවිනිශ්චිතතා හේතුවෙන් පෙබරවාරි මාසයේ දී දේශීය වෙළෙඳපොළ තුළ යම් විචලතාවක් ඇති වුවද, මෙම විචලතාව කෙටි කාලයක් පමණක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදේශීය විනිමය වෙලෙඳපොළ යළි ස්ථායී මට්ටමකට දැනටමත් ළඟා වී ඇති අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ වූ අවිනිශ්චිතතා සැලකිය යුතු ලෙස පහව ගොස් ඇත.

    එසේ හෙයින්, පොලී අනුපාතිකවල අනාගත වෙනස්වීම් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂා සම්බන්ධ වූ දෝෂ සහගත මාධ්‍ය වාර්තා තුළින් නොමග නොයන ලෙස පොදු මහජනතාවට අවවාද කෙරේ.