පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් වැදගත් තීරණයක් හෙට

    July, 6, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 අංක 05 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (07) දින පෙරවරු 7.30 ට දැනුම් දීමට නියමිතව ඇත.

    මෙහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල ඉහළ යාමක් සිදුවිය හැකි බව ‌වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    අද (06) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91, දින 182 හා දින 364 යන කාණ්ඩ 3ටම අයත් භාණ්ඩාගාර බිල්පත් පොලිය 28% සීමාව ඉක්මවා ‌ගොස් තිබිණි.

    එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 ජූනි මාසයේ දී උද්ධමනය 54.6% ක් දක්වා දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබුණි.

    මෙම තත්ත්වය තුළ ආර්ථිකය තවදුරටත් සංකෝචනය කිරීමේ අරමුණින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් හි සැලකිය යුතු වැඩවීමක් හෙට දිනයේ දී නිවේදනය කළ හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.

    ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 වැනි දින රැස් වූ අතර ඉන් අනතුරුව මෙම වසරේ අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 700 බැගින්, පිළිවෙලින් 13.50% සහ 14.50% දක්වා ඉහළ නැවීමට තීරණය කෙරුණි.

    කෙසේවෙතත් 2022 වසරේ අංක 04 දරන මුදල් ප්‍රතිපත්ති විවරණ‌යේ දී මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොකිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරන ලදී.