පොළී අනුපාත අඩුකරන්න අගමැතිගෙන් කමිටුවක්. සභාපති නිහාල් ෆොන්සේකා

    April, 9, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සියලූම වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ පවත්වන ලද සාකච්ඡාවක දී වර්තමානයේ ඉහළ මට්ටමක පවතින ණය පොළී අනුපාතික හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) අංශයේ උද්ගතව ඇති අයහපත් වාතාවරණයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

    මෙම කමිටුවේ සභාපතිවරයා ලෙසින් මුදල් මණ්ඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා මහතා පත් කර තිබෙන අතර එහි කැඳවුම්කරු වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.එම්. කරුණාරත්න මහතා කටයුතු කරනු ලැබේ.

    තවද මෙම කමිටුවේ සාමාජිකයන් ලෙසින් වාණිජ බැංකුවලින් නියෝජිතයින් තිදෙනෙකු හා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින් දෙදෙනෙකු පත් කර ඇත.

    මෙම කමිටුව පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ, අදාළ රැස්වීමේ දී වර්තමානයේ දී ඉහළ මට්ටමක පවතින පොළී අනුපාත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බවයි. එසේම පුද්ගලික අංශයේ ණය සැලකීමේ දී විශේධයෙන්ම SME අංශයේ ගැටළුවක් වී ඇති බවත්, ඒ සම්බන්ධයෙක් ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කෙරුණු බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    මෙම කමිටුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ තිබෙන ගැටළුකාරී තත්ත්වයන් මග හැරෙන ආකාරයට අවශ්‍ය යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් සකස් කර තිබෙන වාර්තාව හෙට (10) දිනයේ දී අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.එම්. කරුණාත්න මහතා මෙහිදී කියා සිටියේය.