පෝලන්තයේ LOT POLISH ගුවන් සේවය ශ‍්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි

    November, 5, 2019

    • 2020 මාර්තු දක්වා සතියකට ගුවන් ගමන් වාර 03ක්. ගමන් කාලය පැය 9 දක්වා අඩුවෙයි

    • ශ‍්‍රී ලංකාවේ සංචාරක කාල සීමාව ප‍්‍රවර්ධනයට අත්වැලක්

    • සංචාරක කාලසීමාවේදී යුරෝපා සංචාරකයින්ට ලංකාව අංක එකේ ගමනාන්තය බවට පත් කිරීම

    • පළමු ගුවන් යානය සම්භාවනීය අමුත්තන්,නිවාඩු සැලසුම් කරන්නන් , මාධ්‍යවේදීන් සහ පෝලන්ත වෙළඳ නියෝජිතයින්ගෙන් පිරෙයි

    වෝර්සෝ සිට තම පළමු සෘජු ගුවන් ගමන් ඇරඹු කළ LOT POLISH ගුවන් සේවය ඉරිදා (03) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අතර පෝලන්තයේ සහ යුරෝපයේ සිට මෙරටට පැමිණි සම්භාවනීය අමුත්තන්, නිවාඩු සැලසුම් කරන්නන්, මාධ්‍යවේදීන් සහ පෝලන්ත වෙළෙඳ නියෝජිතයින් රැසක් මහත් හරසරින් එහිදී පිළිගන්නා ලදී. මෙම සම්භාවනීය මගීන් අතරට පෝලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මාචෙයි ලන්ග් මහතා, ශ‍්‍රී ලංකා පෝලන්ත තානාපති ඇඩම් බුරකොවස්කි මහතා, LOT POLISH ගුවන් සේවයේ ප‍්‍රධාන වාණිජ නිලධාරී මයිකල් ෆිජොට් මහතා, සහ ආයතනික මාධ්‍ය ප‍්‍රකාශක මයිකල් ශර්නිකි මෙන්ම පෝලන්ත රූ රැජින සහ LOT POLISH ගුවන් සහයිකා ඔල්ගා බුලාවා යන පිරිස ඇතුලත් විය.

    මෙම විශේෂිත අවස්ථාවට එක්වූ LOT POLISH ගුවන් සේවයේ ප‍්‍රධාන වාණිජ නිළධාරී මයිකල් ෆිජොට් මහතා අදහස් දක්වමින් ” LOT POLISH ගුවන් සේවයේ අප පුළුල් සංචාරක කර්මාන්තයක් සඳහා සෘජු ගුවන් ගමන් අරඹමින් අපගේ දේශීය හවුල්කරුවන් හා එක්වන්න ලැබීම ඇත්තෙන්ම සතුටට කාරණයක්. ආසියාවේ නැරඹිය යුතුම ස්ථානයක් වන ශ‍්‍රී ලංකාව වෙත සතියකට සෘජු ගුවන් ගමන් වාර 03 ක් අප සලසුම් කර තිබෙන අතර මෙය සංචාරකයින්ගේ පැමිණීම වැඩිවීමට හේතුවක් වනු ඇතයි අප බලාපොරොත්තු වනවා. එමෙන්ම ශ‍්‍රී ලාංකිකයින්ට ද පෝලන්තයට හෝ වෙනත් ඕනෑම යුරෝපා රටකට මෙන්ම අප විසින් ගුවන් සේවා සපයනු ලබන අනෙකුත් ඕනෑම රටකට සුව පහසුවෙන් යාමට අපගේ ගමනාන්ත රැසක් ඇති ලොට් පෝලිෂ් ගුවන් සේවය අවස්ථාව උදාකර දෙනවා”යැයි පැවසීය.

    ශ‍්‍රී ලංකාවට පැමිණි මෙම පළමු සෘජු ගුවන් ගමන සමග LOT POLISH ජාලය විසින් මෙහයවනු ලබන ආසියාවේ හයවන දිගු දුර ගමනාන්තය බවට ශ‍්‍රී ලංකාව පත්වන අතර හේලීස් ඒවියේෂන් මෙහි දේශීය විකුණුම් නියෝජිතයා (General Sales Agent –GSA) වශයෙන් LOT POLISH සමග සහයෝගීත්වයෙන් කටයුතු කරනු ලබයි. ශීත සෘතුවත් සමග ඇරඹෙන සංචාරක සමයේ දී LOT POLISH ගුවන් සේවය, 2020 මාර්තු දක්වා සතියකට සෘජු ගුවන් ගමන් වාර 03 ක් වෝර්සෝ සිට කොළඹ දක්වා පියාසර කිරීමට නියමිතව ඇත.

    මේ පිලිබඳ අදහස් දැක්වූ හේලීස් සමුහයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා, ‘‘ලොට් පෝලිෂ් ගුවන් සේවයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණි පළමු කණ්ඩායම ශ‍්‍රී ලංකා වාසි අප සැමත් හේලීස් ඒවියේෂන් කණ්ඩායමත් ඉතාමත් උණුසුම් ලෙස පිළිගනු ලබනවා. ඒවගේම අපගේ සුන්දර පාරාදීසය නැරඹීමට තෝරාගැනීම පිළිබඳවත් අප ඔබ සැමට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර ශ‍්‍රී ලංකාවේ උණුසුම් ආගන්තුක සත්කාරය පිලිබඳ අත්දැකීම් ඔබට කිසිදිනක අමතක නොවනු ඇතයි අප බලාපොරත්තු වෙනවා. එවගේම ලංකාව සමඟ සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ අපගේ දේශීය සංචාරක හා ආගන්තුක සත්කාර අංශයට පිළිගැනීමක් ලබා දීමට සහය වීම පිළිබඳව සමස්ත සංචාරක ක්ෂේත‍්‍රය වෙනුවෙන් ලොට් පෝලිෂ් කණ්ඩායමට අපි ස්තූතිවන්ත වෙමු,”යැයි පැවසීය.

    ලොට් පෝලිෂ් තම ගුවන් සේවය සඳහා බෝයින් 787 ඩ්‍රීම් ලයිනර් වැනි පුළුල් බඳ සහිත ගුවන් යානා භාවිතයට ගනු ලබයි.සෑම ගුවන් මගියකුටම තමන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකි පන්ති තුනකින් ගුවන් යානා සකසා තිබේ. ලොට් ව්‍යාපාරික පන්තිය දිගහැරිය හැකි ආසන සහිතව සකසා තිබෙන අතර සුපිරි අවන්හලකින් සමන්විත වෙයි. ලොට් ප‍්‍රීමියම් ඉකොනොමි පන්තිය විශාල සුවපහසු ආසනයකින් සමන්විත වන අතර පාද සහ කලවා සුවපහසුව තබා යාහැකි පරිදි ආසන සැලසුම් කර තිබේ. එමෙන්ම කොක්ටේල් මේසයකින් සහ හොඳම ආහාරපාන ලැයිස්තුවකින් ද මෙම පන්තිය සමන්විත වෙයි. ලොට් ඉකොනොමි පන්තිය විනෝදාස්වාදය සඳහා වෙන්වූ රූපවාහිනී තිරයකින් සහ USB කෙවනියකින් ද සමන්විත වන අතර ගමන පුරා නැවුම් විවිධ වූ ආහාර පාන රසවිඳීමේ අවස්ථාව මගීන්ට ලබා දෙයි.

    වාර්ෂිකව මිලියන 1.8 ක පමණ මගීන් පිරිසක් යුරෝපය සහ කොළඹ අතර ගමන් කරනු ලබයි.ලොට් තම නවීනතම ගුවන් යානා භාවිත කරමින් 2018 වර්ෂයේදී මිලියන 9 කට අධික මගීන් පිරිසකට තම තම ගුවන් සේවය සපය ඇති අතර 2019 වසර අවසන් වන විට මිලයන 10 ක ඉලක්කයක් සපුරාලීමට බලාපොරොත්තු වෙයි.ලොට් ගුවන් සේවය වෝර්සෝ සිට මහද්වීප තුනක් හරහා ගමනාන්ත 111 කට වැඩි ප‍්‍රමාණයක් වෙත වඩාත් කාර්යක්ෂම සහ පහසු ගුවන් සේවයක් සපයයි.

    වර්ෂ 1878 දී චාස් පී හේලීස් විසින් ගාල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් අපනයන සහ ආනයන වෙළෙඳ ආයතනයක් ලෙස ඇරඹි හේලීස් සමුහ ව්‍යාපාරය විශිෂ්ටත්වය සහ නවෝත්පාදන සමගින් වසර 140 කට වැඩි කාලයක් පුරා ගෝලීය ප‍්‍රවනතාවයන්ට සාර්ථකව මුහුණ දෙමින් කලාප පහක් පුරා අංශ දහසයකින් විවිධාංගිකරණය වූ සමාගමකි. අද වන විට ශ‍්‍රී ලංකාව තුළ සාර්ථක නාමයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති හේලීස් සමුහය ලංකාවේ ඩොලර් බිලියනයක වත්කම් ඉක්මවූ ප‍්‍රථම සමාගමද වන අතර සමස්ත ජාතික අපනයනයන ආදායමෙන් 3% ක දායකත්වය දරයි.