පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය සති දෙකකින්

    September, 7, 2018

    ඉදිරි දෙසතිය තුළ පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    කෑගල්ල මහ රෝහලේ ඉදිකරන ලද මානසික රෝග ප්‍රතිකාර ඒකකය සහ සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    පැවැති උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

    පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග ද මම සාකච්ඡා කළා. ඔවුන්ගේ යෝජනා කඩිනමින් ලබාදෙන ලෙස දැනුම් දුන්නා. රෝහල් නියාමනය කිරීමට එරෙහිව පෞද්ගලික රෝහල් හිමිකරුවන් පිරිසක් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන බව ද වාර්තා වෙනවා. නමුත් මම මගේ යුතුකම ඉෂ්ඨ කරනවා. නිදහස් සෞඛ්‍ය සේවාව ජනතාවට අකුරටම ලබාදීමට මම කටයුතු කරනවා.

    සියලු පැණිරස කෑම සදහා වර්ණ සංකේත ක්‍රමය ඉන් පසු ක්‍රියාත්මක කරනවා. බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගැනීම මාගේ අරමුණයි. ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට ද විවිධ බලපෑම් එල්ල වුනා. පැණි රස කෑම වල වර්ණ සංකේත ක්‍රමය හදුන්වාදීමේ වැඩපිළිවෙලට ද මේ වන විටත් බාධා එල්ල වෙමින් තිබෙනවා.

    නමුත් මම බිය නොවී එය ඉටු කරනවා. අපේ රටේ මාධ්‍ය විවේචනය කිරීම තමයි සිදු කරන්නේ. කළ හොද වැඩ වලට පුළුල් ප්‍රචාරයක් ලබාදෙන්නේ නැහැ. ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ 13 ක් සහ වෛද්‍ය උපකරණ 02 ක මිල අඩු කළත් ඊට වඩා ප්‍රසිද්ධියක් ලැබී ඇත්තේ පාන් පිටි මිල රුපියල් 05 කින් ඉහළ යාමටයි.

    මාධ්‍ය ප්‍රචාරය ලබාදෙන්නේ එහෙමයි. නමුත් වෛද්‍ය විගණනයට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පාලනය කිරීම තුලින් ජනතාවට රුපියල් බිලියන 4.4 ක ලාභයක් ලැබී තිබෙනවා. රජයේ රෝහල්වල නොමිලේ සිදු කරන සැත්කම් වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ පෞද්ගලික අංශයෙන් රැගෙන එන ලෙස ඇතැම් වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා.

    ඒ කිසියම් මුදලක් ලබාගැනීමේ අරමුණින්. කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් ද උපකරණ ලබා ගැනීම සදහා බැංකු ගිණුමකට මුදල් බැර කරන ලෙස රෝගියෙකුගෙන් ඉල්ලා තිබෙනවා. ඒ පිළිබද තොරතුරු මට වාර්තා වී තිබෙනවා. මානසික සෞඛ්‍ය සේවාව විධිමත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් ඒ සදහා සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා වෛද්‍යවරුන් බිහි කිරීම වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චමිපිකා ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, හිටපු අමාත්‍ය ලලිත් දිසානායක, ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විඡිත් ගුණසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩි.එල් ගුණවර්ධන මහතා, මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය, කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.