බත්තරමුල්ලේ සිට මංතීරු හතරක නව මාර්ගයක් ඉදිකිරීමට සැරසෙයි

    April, 3, 2014

    බත්තරමුල්ල ප්‍රදේශයේ පවතින අධික රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මංතීරු හතරක නව මාර්ගයක් ඉදිකිරීමට සූදානම් වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මෙම මාර්ගයේ මුල් අදියර බත්තරමුල්ල දියත උද්‍යානය ආරම්භ වන පොල්දූව හන්දියේ සිට සෙත්සිරිපාය පිටුපසින් සුභූතිපුර දක්වා ඉදිකිරීමට කටයුතු කරන බවයි.

    “මෙම ඉදිකිරීම් සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවෙකු අපි මේ වනවිට තෝරාගෙන සිටිනවා. අළුත් අවුරුද්ද අවසන් වූ විගසම මෙහි ඉදිකිරීම් ආරම්භ කරනවා.“

    යනුවෙන් නවරත්න මහත්මිය පැවසුවාය.

    මාර්ගයේ දෙවන අදියර සුභූතිපුර සිට කොස්වත්ත දක්වා ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

    “මෙම මාර්ගය කොස්වත්තේ සිට ආරක්ෂක සේවා මූලස්ථානය ඉදිවන බත්තරමුල්ලේ අකුරේගොඩ දක්වා දීර්ඝ කිරීමට වැඩිදුරටත් අදහස් කර තිබෙනවා.“

    යනුවෙන් නවරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.