April, 20, 2020
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන ඇඳිරි නීතිය අද උදෑසන ලිහිල් කෙරුණු අතර කොළඹ ඇතුළු සෙසු අවදානම් කලාපයේ පිහිටි දිස්ත්‍රික්කවලට දැනට බලපවත්වනු ලබන ඇඳිරි නීතිය අප්‍රේල් 22 බදාදා දින සිට ලිහිල් කිරීමට බලධාරීන් මීට පෙර තීරණය කර තිබුණි.
මෙම තත්ත්වය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික වෙළෙඳපොළ ගනුදෙනු එළඹෙන අප්‍රේල් 22 බදාදා දින පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා පැය 2ක කාලයකට පමණක් ක්‍රියාත්මක කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් තීරණය කරන ලදී. සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලසීමාව පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5කි.
කෙසේ වෙතත් අද උදෑසන යළිත් වරක් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු අවදානම් කලාපයේ පිහිටි දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා බලපවත්වන ඇඳිරි නීතිය බදාදා (22) දිනයේ දී ලිහිල් නොකර අප්‍රේල් 27 සඳුදා දින දක්වා බලපැවැත්වෙන බව රජය නිවේදනය කර සිටියේය.
මේ තීරණය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු එළඹෙන අප්‍රේල් 22 බදාදා දින නොව අප්‍රේල් 27 සඳුදා දින ආරම්භ කිරීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු ගණනාවක් සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු පසුගිය අප්‍රේල් 01 දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට මීට පෙර තීරණය කෙරුණි.
Video Story