බදු පැහැර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට දේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක්

    October, 21, 2026

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව, ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළින් බුද්ධිමය  තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ ඒ මත පදනම්ව සමාන්තර විමර්ශන සිදු කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.

    මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය මූල්‍යකරණය සහ විනාශකාරී ආයුධ ව්‍යාප්තිය සඳහා වූ මූල්‍යකරණයට එරෙහිව ශ්‍රී ලංකාව තුළ සිදු කරන තුන්වන අන්‍යෝන්‍ය ඇගයීමට සමගාමීව, 2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත මගින්  2026 අගෝස්තු 04 දින සිට දේශීය ආදායම් පනතේ 189 වන වගන්තිය යටතේ වන බදු පැහැර හැරීම් සම්බන්ධ වරදවල් සහ සුරා බදු ආඥා පනත යටතට වැටෙන වරදවල් මුදල් විශුද්ධිකරණය සම්බන්ධව ‘නීති විරෝධී ක්‍රියාකාරකම්’ (Unlawful Activity) ලෙස සලකනු ලැබේ. ඒ අනුව, රජයේ සම්පත් ප්‍රශස්ත අයුරින් උපයෝගී කර ගනිමින් එවැනි වරදවල්වලට එරෙහිව සාමූහිකව ක්‍රියා කිරීමේ යාන්ත්‍රණයක්, මෙම අවබෝධතා ගිවිසුම තුළින් ගොඩනැගෙනු ඇත.

    ඒ තුළින්, බදු පැහැර හැරීම් වලට එරෙහිව සිදුකරනු ලබන

    • විගණන කටයුතු පුළුල් කිරීම
    • අනීතික මූල්‍ය ප්‍රවාහ අවම කිරීම
    • ආදායම් රැස් කිරීම විධිමත් කිරීම

    මගින්, අවසාන වශයෙන් රජයේ ආදායම් ඉලක්ක කරා ළඟා වීමට අපේක්ෂා කෙරේ.

    මෙම අවබෝධතා ගිවිසුම 2026.10.21 වන දින පෙ.ව. 9.00 ට මුදල් අමාත්‍යංශයේ දී නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.එන්. හපුගල මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සහ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා විසින් අත්සන් කරන ලදී.