බදු බර නිසා KIA Soul EV ට ලංකාව එපාවෙයි

    February, 1, 2016

    ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතව තිබූ නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය වන KIA Soul EV, මෙරටට හඳුන්වා දීම පමා කර ඇතැයි වාර්තා වේ. මීට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා තිබූ ආනයනික බද්ද වැඩි කිරීමට 2016 අයවැය යෝජනා තුළින් කටයුතු කර තිබීමයි.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී KIA මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහේන් තම්බයියා මහතා මෙසේ කියා සිටියේය. “KIA Soul EV ඉලෙක්ට්‍රික් කාරය ‍මේ වන විට ලංකාවට ඇවිත් තිබෙනවා. එහෙත් අලුත් බදු තත්ත්වය මත මෙය අලෙවි කිරීමේ ගැටලුවක් තිබෙනවා. සාමාන්‍යයෙන් රුපියල් මිලියන 5 කට පමණ හඳුන්වා දෙන්න සැලසුම් කර තිබූ මෙම රථය, බදු වැඩි වීමෙන් පසු මිලියන 7.5 ක් පමණ දක්වා වැඩි වෙනවා. මේ හේතුව නිසා ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් මිල දී ගැනීමෙන් ලැබිය හැකි ප්‍රතිලාභය පාරිභෝගිකයාට මඟහැරී යනවා.“

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහේන් තම්බයියා මහතා කියා සිටියේ මෙම ඉදිරි මාස 3 ක පමණ කාලය තුළ මෙරට තුළ වාහන අලෙවිය 50% කින් පමණ අඩුවිය හැකි බව සිය පුද්ගලික මතය බවයි.