බදු වැඩි කරන්න කලින් වාහන ගෙන්වන්න වැඩියෙන් වියදම් වුණේ මෙහෙමයි

    August, 28, 2018

    රථ වාහන ආනයනය සඳහා 2018 ජූනි මාසයේ දී දරා ඇති වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 146.8 ක් වන අතර එය 2017 ජූනි මාසයේ ආනයන වියදම වූ ඩොලර් මිලියන 54 හා සැසඳීමේ දී 171.8% ක ඉහළ යාමක් ලෙසින් වාර්තා වී තිබේ. 2018 ජූනි විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් වේ.

    තවද 2017 ජනවාරි - ජූනි කාලපරිච්ඡේදය තුළ සමස්ත රථ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 370.2 ක් ලෙසින් වාර්තා වූ අතර එය මෙම වසරේ මුල් භාගයේ දී ඩොලර් මිලියන 812.7 ක් දක්වා 119.5% කින් වැඩි වී ඇත.

    මේ අතර, සිලින්ඩර ධාරිතාව 1,000 ට අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපී පෙනන ලෙස ඉහළ යෑම හේතුවෙන් 2018 වසරේ ජූනි මාසයේ දී පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ග කර ඇති පෞද්ගලික භාවිතය සඳහා වන රථවාහන ආනයන වියදම සැලකිය යුතු ලෙද ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    කෙසේ වෙතත් සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ සඳහා වන බදු 2018.08.01 දින සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දැමීම හේතුවෙන් රථවාහන ආනයනය ඉදිරි මාසවල දී යම්තාක් දුරට පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දේ.

    තවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන පරිදි පසුගිය 2018 ජූනි මාසයේ දී නැව් 4 ක් ආනයන කිරීම සහ කැබ්රථ සහ ත්‍රී රෝද වැනි වාණිජ කටයුතු සඳහා යොදා ගනු ලබන රථ වාහන ඉහළ යෑම හේතුවෙන් ප්‍රවාහන උපකරණ ආනයන වියදම ඉහළ යෑම ආයෝජන භාණ්ඩ ආනයන වියදම ඉහළ යෑම සඳහා දායක වී තිබේ.