බදු වැඩි නිසා වාහන ආනයනය පහළ බසී. 2019 මුල් මාස 06 දී ආනයන වියදම 60%කින් අඩුවෙලා

    August, 21, 2019

    මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස 06ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පෞද්ගලික රථවාහන සඳහා දරන ලද වියදම ඩොලර් මිලියන 812.7 සිට ඩොලර් මිලියන 324.2ක් දක්වා 60.1%කින් පහත බැස තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2019 ජූනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ සටහන් වේ.

    මේ අතර 2019 ජූනි මාසයේ දී මෙරට ආනයනය කරන ලද පෞද්ගලික රථවාහන සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන 48.1ක් වන අතර මෙය 2018 වසරේ ජූනි මාසයේ අගය වූ ඩොලර් මිලියන 146.8 හා සැසඳීමේ දී 67.2%ක පහළ යාමකි.

    පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන ආනයනය අඛණ්ඩව අඩු වීම, දෙමුහුන් හා විද්‍යුත් රථවාහන සහ සිලින්ඩර ධාරිතාව 1000ට අඩු රථ වාහන ආනයනය මත 2019 මාර්තු මාසයේ දී නිෂ්පාදන බදු ඉහළ දැමීමේ බලපෑම මෙමඟින් පිළිබිඹු කරනු ලබන බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.