බලපත්‍රලාභී බැංකුවල අධ්‍යක්‍ෂවරුන් “ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව ඉදිරිය සඳහා හැඩගැස්වීම“

    November, 17, 2018

    ඩිජිටල් යුගයේ අභියෝගයන්ට සක්‍රිය ලෙස මුහුණදීමේ හැකියාව ඉහළ නැංවීම තුළින් ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව ඉදිරිය සඳහා හැඩගැස්වීම“ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සියළු බලපත්‍රලාභී බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩල, ප්‍රධාන විධායක නිලධාරීන් සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ දැණුම් මට්ටම් තව දුරටත් වැඩිදියුණු කිරීම සහ යාවත්කාලීන කිරීමේ අරමුණින් 2018 නොවැම්බර් මස 14 දින රාජගිරිය බැංකු විදු පියසේ දී තාක්‍ෂණික සැසියක් පවත්වන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමන් විසින් මෑත කාලීන මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයන් සඳහා මුල් වූ කරුණු පැහැදිලි කරමින් පවත්නා ආර්ථික තත්ත්වය පිළිබඳ දළ විශ්ලේෂණයක් ආරම්භක දේශනය ලෙස ඉදිරිපත් කරන ලද අතර, බැංකු වල ප්‍රාග්ධන අවශ්‍යතාවයන්, තාක‍්ෂණික අවදානම් කළමනාකරණය සහ යහපාලනය පිළිබඳ නියාමන රාමුව ශක්තිමත් කිරීම වෙනුවෙන් ගන්නා ලද පියවරයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකරන කරන ලදී. තවද, මූල්‍ය තාක්‍ෂණය (fintech) සහ කාණ්ඩදාම (blockchain) වැනි අධි තාක්‍ෂණික ප්‍රවනතා හේතුවෙන් නව ව්‍යාපාරික අවස්ථාවන් විවෘත කරමින්, බැංකු වල ව්‍යාපාරික ආකෘතීන් කාලයත් සමඟ විශාල ලෙස වෙනස් විය හැකි බව ද මෙහිදී අධිපතිතුමා විසින් පෙන්වාදෙන ලදී. කෙසේ නමුත්, නව තාක්‍ෂණයන් යොදා ගැනීම සඳහා උනන්දුකරවන අතරම බැංකු පද්ධතියේ සුරක්‍ෂිතභාවය හා ශක්තිමත්භාවය සහතික කරගත යුතු බව ද අධිපතිතුමන් විසින් මෙහිදී අවධාරණය කරන ලදී. බැංකු අධීක්‍ෂණ අධ්‍යක්‍ෂතුමා විසින් නියාමන බලතල ශක්තිමත් කිරීම සඳහා බලාත්මක කිරීමට යෝජිත පියවරයන්, බැංකු වල ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම, බාසල් III රාමුව සඳහා අනුකූලවීම සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 9 වෙත විචක්‍ෂණශීලී ලෙස අනුගත වීම යන තේමා යටතේ “බැංකු අංශයේ කාර්යය සාධනය සහ නියාමන කටයුතුවල වර්ධනයන්“ යන මැයෙන් දේශනයක් ඉදිරිපත් කරන ලදි.

    අත්දැකීම් බහුල විදේශීය සම්පත් දායකයින් තිදෙනෙකුගෙන් සමන්විත මඩුල්ලක් විසින්, අනාගත බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩලයන් වෙතින් අපේක්‍ෂිත චර්යාව, තාක්‍ෂණික අවදානම් සඳහා බැංකු වල ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැංවීම මෙන්ම, ඩිජිටල් යුගය තුළ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයේන් බැංකු මුහුණදෙන අනුකූලතා අභියෝගයන් යන කාලීන මාතෘකා යටතේ ඉදිරිපත් කරන ලද හරවත් දේශනයන් ගෙන් මෙම තාක්‍ෂණික සැසිය සමන්විත විය. ඒ අනුව, ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවෙහි පරිපාලිතයන්හී යහපාලන ප්‍රධානී, ASEAN, සහ දකුණු ආසියාව, චීනය සහ උතුරු ආසියාවෙහි ප්‍රධානී, කාල් හොලින්ග්ස්වර්ත් මහතා විසින් අනාගතයේ දී බැංකු අධ්‍යක‍්ෂ මණ්ඩලයන් වෙතින් අපේක්‍ෂිත නව කුසලතා, චර්යාධර්ම සහ සංස්කෘතික හැඩගැසීම් පිළිබඳ විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. තවද, සිටිබෑන්ක් එන්. ඒ. හී ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ සහ තාක්‍ෂණික අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් ආසියා ශාන්තිකර කළාපයේ ප්‍රාදේශීය ප්‍රධානී, බ්‍රයන් මැකිනන් මහතා විසින් තාක්‍ෂණික අවදානම් කළමනාකරණය සහ තාක්‍ෂණික අවදානම් වෙත ඔරොත්තු දීම තහවුරු කරවීම සඳහා ගතහැකි සයිබර් ආරක්‍ෂක ක්‍රියාමාර්ග පිළිබඳව දැණුවත් කිරීමක් සිදු කරන ලදී. තාක්‍ෂණික සහයෝගීතාව පිළිබඳ ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නේවාසික උපදේශක, කෙවින් වෙලන් මහතා විසින් මූල්‍ය තාක්‍ෂණය සහ මුදල් විශුද්ධිකරනය යන අංශ වල විකාශයත් සමඟ ඩිජිටල් බැංකුකරණය හමුවේ බැංකු නියාමකයන් මුහුණදෙන අභියෝගයන්/අවස්ථාවන් අවධාරණය කරමින් දේශනයක් පවත්වන ලදී.

    මෙම තාක්‍ෂණික සැසිය උදෙසා මෙරට ස්ථාපිත සියළු දේශීය බැංකු වල සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරීන්, ප්‍රධාන අවදානම් නිලධාරීන්, අනුකූලතා නිලධාරීන් මෙන්ම මෙරට ස්ථාපිත සියළු විදේශීය බැංකු වල ප්‍රාදේශිය නියොජිතයින් ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 200 කට අධික පිරිසක් සහභාගී විය.

    මූල්‍ය තාක්‍ෂණික දියුණුව හේතුවෙන් මූල්‍ය අංශයේ ඉස්මතුවන අවදානම් සහ මූල්‍ය අංශයට අදාළ නියාමනයන් හී ප්‍රවර්ධනයන් පිළිබඳව බලපත්‍රලාභී බැංකු වල අධ්‍යක්‍ෂවරුන් සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් යාවත්කාලීන වීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසයයි. ඒ අනුව, බලපත්‍රලාභී බැංකුවල සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ කලින් කල පවත්වාගෙන යනු ලබන රැස්වීම් වලට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණය සමඟ පවතින අන්තර් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම තාක්‍ෂණික සැසිය පවත්වන ලද අතර, බැංකු අංශයේ ස්ථාවරත්වය උදෙසා මෙබඳු සංවාදයන් ඉදිරියටත් පවත්වාගෙන යාමට අපේක්‍ෂා කෙරේ.