බැංකුවල කෙරුවාව ගැන මහ බැංකු අධිපතිගේ සතුට

    April, 7, 2014

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාණිජ බැංකු සිය පොලී අනුපාත සතුටුදායක මට්ටමක් දක්වා පහළ දමා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි.

    මහ බැංකුව විසින් පොලිය අඩුකළත් වාණිජ බැංකු විසින් එයට සාපේක්ෂව පොලිය අඩු නොකිරීම ප්‍රශ්නයක් වන්නේදැයි අප කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසීය.

    කෙසේවෙතත්, ඇතැම් ආර්ථික විශ්ලේෂකයින් තර්ක කරන්නේ මෙරට පොලී අන්තරය සියයට 4.7 ක් පමණ වන බවත් එය තවමත් තිබෙන්නේ ජනතාවට ඔරොත්තු නොදෙන මට්ටමක බවයි.

    හොංකොං වැනි රටක මෙම පොලී අන්තරය සියයට 1.3 ක් පමණ වේ.

    පොලී අන්තරය යනුවෙන් හඳුන්වන්නේ වාණිජ බැංකු විසින් ජනතාවගේ තැන්පතු සඳහා ලබාදෙන පොලිය සහ ජනතාවට ණය ලබාදෙන පොලිය අතර වෙනසයි. එසේත් නැත්නම්, බැංකු ලබන පොලී ලාභයයි.