බැඳුම්කර කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

    January, 18, 2018

    මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවන්හි ඇතුළත් යෝජනා කි‍්‍රයාත්මක කිරීම, නීතිමය තත්ත්වයන් සහ බාහිර කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    නීතිපති, මහබැංකු අධිපති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරින් එක්ව සිටි මෙම සාකච්ඡාවේදී බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව මගින් සිදුකරන ලද නිර්දේශ ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ පහත අංශ යටතේ අවධානය යොමු කෙරිණි.

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ ප‍්‍රධාන වශයෙන් කොටස් හතරකි. ඒ, වැඩිදුරටත් විමර්ශන පැවැත්වීම, ඇතැම් තැනැත්තන්ට එරෙහිව නෛතික කි‍්‍රයාමාර්ග ගැනීම, පවතින නීති සංශෝධනය කිරීම සහ අවශ්‍ය පරිදි නව නීති සම්පාදනය මෙන්ම අනාගතයේදී මෙවැනි අක‍්‍රමිකතා, දූෂණ හෝ අපරාධ සිදුවීම වළක්වා ගැනීම සඳහා ගතයුතු වෙනත් කි‍්‍රයාමාර්ග වශයෙනි.

    ඒ අනුව සිදුකර ඇති අපරාධවලට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම, රජයට සහ සේවක අර්ථ සාධක අරමුදලට සිදුව ඇති අලාභය පියවා ගැනීම පිණිස සහ නීත්‍යානුකූල නොවන කි‍්‍රයාවන්හි යෙදුණු තැනැන්තන්ට එරෙහිව සිවිල් නඩු පවරා වන්දි ලබා ගැනීමට කටයුතු කිරීම මෙන්ම විවිධ රාජ්‍ය ආයතනවල සේවය කරන ලද මෙම අපරාධයට සම්බන්ධ නීත්‍යානුකූල නොවන කි‍්‍රයාවන්හි යෙදුණු පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගැනීමට ද නිර්දේශ කෙරිණි.

    අපරාධ නඩු පැවරීම නීතිපතිතුමා සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදු කෙරෙන අතර මෙම අපරාධයට සෘජුව හා වක‍්‍රව සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය, පොදු දේපළ පනත, ස්කන්ධ ආඥා පනතෙහි සඳහන් වරදවල් සහ මුදල් විශුද්ධිකරණ පනත වැනි පනත් සහ නීති උපයෝගී කරගනු ඇත.

    තවද බැඳුම්කර කොමිසම හමුවේ ඉදිරිපත් කර තිබෙන සාක්ෂි සහ පවත්වන ලද විමර්ශනයේ දී අනාවරණය වූ කරුණුවලින් වෙනස් සහ වැඩිමනත් වරදවල් අනාවරණය වන්නේ නම් ඒවා සිදුකරන ලද පුද්ගලයන්ට එරෙහිව ද කි‍්‍රයාමාර්ග ගනු ඇත.

    සිදුව ඇති අපරාධ පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමේදී නීතිපතිතුමාගේ උපදෙස් ප‍්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට ද ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහ විනිමය පාලකවරයාගේ සහයෝගය ලබාගැනීම ද නිර්දේශ වී ඇති අතර, ශී‍්‍ර ලංකා මහ බැංකුව මාර්ගයෙන් වෝහාරික විගණනයක් පැවැත්වීමට ද නිර්දේශ වී තිබේ.

    විමර්ශන කටයුතු සිදුකිරීමේදී අදාළ ආයතන සියල්ල අතර මනා සම්බන්ධීකරණයක් හුවා දක්වමින්, ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් විමර්ශනාත්මක ද්‍රව්‍ය හා සාක්ෂි සෘජුව සලකා බැලීමට හැකිවන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට නිර්දේශ වී තිබේ.

    අපරාධ කි‍්‍රයාවලියෙහි වගකීම සම්බන්ධයෙන් ඒ ඒ පුද්ගලයින්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට මෙන්ම යම් යම් සමාගම්වල සිදුව ඇති අපරාධ පිළිබඳ නෛතික වගකීම සලකා බැලීමට ද නිර්දේශ විය.

    රජයට අයවිය යුතු අලාභය සහ වන්දි අය කර ගැනීම සඳහා සිවිල් නඩු පැවරීම නිර්දේශ කර ඇති මුත් සිවිල් නඩු සඳහා දිගු කාලයක් ගතවන බැවින් මෙවැනි නඩු සඳහා සිවිල් නඩු විධිවිධාන කාර්ය පටිපාටියෙහි යම් සංශෝධනයක් ගෙනඒම පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවනු ඇත.

    එහිදී, දැනට පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්වල සහ වෙනත් තැනැත්තන් විසින් බැඳුම්කර ගනුදෙනු හරහා නීත්‍යානුකූල නොවන ලෙස එකතුකර ගන්නා ලද දේපළ අප‍්‍රමාදීව තහනමට ලක් කිරීමට නීතිපතිවරයාගේ අවධානය යොමු කර තිබේ.

    නඩු කි‍්‍රයාමාර්ගවලට අදාළ ආවේණික ප‍්‍රමාදය හේතුවෙන්, රජයට සහ සේවක අර්ථ සාධක අරමුදලට අයවිය යුතු මුදල් පියවා ගැනීම සඳහා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන පරිදි, පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීම එනම් ව්‍යවස්ථාදායක බලය භාවිතා කළ යුත්තේ ද යන්න සොයා බැලීමට කොමිසම නිර්දේශ කර තිබේ. ඒ පිළිබඳව සොයා බැලීමේ කාර්ය නීතිපතිවරයාට පැවරිණ.

    ශී‍්‍ර ලංකාවේ මූල්‍ය පනත, ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් ආඥා පනත, සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යන පනත් සංශෝධනය කිරීම හෝ නව පනත් ගෙනඒම සම්බන්ධයෙන් සොයා බැලීමට ද නිර්දේශ විය.

    සේවක අර්ථ සාධක අරමුදලේ ස්වාධීනත්වය තහවුරු කිරීම මගින් එහි දායකයින් වන හිටපු සහ වත්මන් පෞද්ගලික අංශයේ සේවක ප‍්‍රජාවගේ උපරිම සුබසිද්ධිය සඳහාම පමණක් එම අරමුදල පවත්වා ගැනීම සඳහා එම අරමුදලේ ඉහළ කළමනාකාරිත්වය සහ මහ බැංකුව අතර පවතින සම්බන්ධය ප‍්‍රතිව්‍යුහගත කිරීම කොමිෂන් වාර්තාව මගින් නිර්දේශ කර තිබීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

    සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාවිතා කරමින් 2008-2014 කාලසීමාව තුළ මහබැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් ගනුදෙනු පිළිබඳ සොයා බැලීම සඳහා වෝහාරික විගණනයක් පැවැත්වීමට නිර්දේශ කෙරිණි.

    රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකත්වය දරන ඇතැම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු එම කමිටුව මගින් භාණ්ඩාගාර බැඳුම්කර සහ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අදාළ විමර්ශන පවත්වමින් සිටින කාලය තුළ ද එම සමාගමේ ප‍්‍රධානී අර්ජුන් ඇලෝසියස් මහතා සමග සන්නිවේදනය කර තිබෙන බව හෙළි වී තිබේ. එම විෂමාචාර හැසිරීම සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට කතානායකතුමාගේ අවධානය යොමු කෙරෙනු ඇති අතර, එම කමිටුවෙහි මන්තී‍්‍රවරු හට විශේෂ ආචාර ධර්ම පද්ධතියක් පැනවීම කෙරෙහි ද කතානායකතුමාගේ අවධානය යොමු කිරීමට නිර්දේශ කෙරි තිබේ.

    රාජ්‍ය ආයතන සහ නිලධාරින්ගේ විෂමාචාරවලට ප‍්‍රතිචාර දැක්වියයුතු ආකාරය පිළිබඳව පුළුල් කතිකාවක් ආරම්භ කිරීම සඳහා කොමිෂන් වාර්තාවෙන් ලබාගත හැකි පාඩම් බොහෝ ඇති බව අවධාරණය කළ ජනාධිපතිතුමා රජයේ ඉහළ සිටම විනිවිදභාවය ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

    මෙවන් අපරාධ තවදුරටත් සිදුවීම වළක්වාලනු පිණිස මහබැංකුවේ පිහිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය මණ්ඩලයේ නිසි සංශෝධන කිරීමටත්, වගවීම තහවුරු කිරීමටත් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර, එය අද දින පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එමෙන්ම, බැඳුම්කර සිදුවීම පිළිබඳව පවතින දැඩි ජනතා අවධානය සලකා බැලූ ජනාධිපතිතුමා එම වාර්තාව, වහාම අන්තර්ජාලයේ මුදාහරින ලෙස නිර්දේශ කළ අතර ඒ අනුව එම වාර්තාව www.presidentsoffice.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

    ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.