බැඳුම්කර වෝහාරික විගණනය තවම නැහැ

    December, 17, 2018

    ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂං සභාව විසින් නිර්දේශ කරන ලද වෝහාරික විගණනය මේ දක්වා සිදුකෙරී නැති බව ජනාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජනතා පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

    “මම අද උදේත් දුරකථනයෙන් මහබැංකු අධිපතිවරයාට කතා කරලා ඇහුවා ජනාධිපති කොමිසම් සභාව විසින් නිර්දේශ කරන ලද නිර්දේශ තුළ ප්‍රධාන නිර්දේශයක් වූ වෝහාරික විගණනය අද වෙනකන් කරලා තියෙනව ද කියලා. අද වෙනකන් එය කෙරිලා නැහැ. ජනාධිපති කොමිෂන් සභාව පැහැදිලිව කියනවා.“

    “මහ බැංකු මංකොල්ලයේ ජනතාවගේ මුදල්වල මූල්‍ය වටිනාකම තවම මෙතකැයි කියා සීමාවක් කිව නොහැක. මෙය අවුරුදු ගණනාවක් සිදු වී ඇත. වාර්තාවේ තිබෙනවා.“

    “එතකොට ආර්ථික විශේෂඥයන් මට පහුගිය සතියෙත් මේ පිළිබඳ සාකච්ඡාවක දී කිව්වා වසර ගණනාවක් පුරා සිදුව ඇති මේ මහා මංකොල්ලය බිලියන් දාහකට එහා කියලා කිව්වා. අද වෙනකන් කිසිම විගණනයකින් කොමිෂන් සභා වාර්තාව අනුව සොයාගෙන නැති මුදල් කන්දරාවක්. එතකොට මේ ප්‍රශ්නයේ දී පැහැදිලිව ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දන්නවා,අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කරන අවස්ථාවේ මම දැඩි ලෙස විරුද්ධ වුණා. නමුත් මාව ජනාධිපති විදියට පත්කරලා සතියක් වගේ කාලයක් තුළ මම කළගුණ දන්නා කෙනෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහතා සමග මට කිසිදු ගැටුමක් අවශ්‍ය නැති නිසා එතුමාගේ දැඩි ඉල්ලීමට මම අර්ජුන් මහේන්ද්‍රන් පත් කළා. ඒක මගේ පත්වීමක්. ඒ නිසා මටත් චෝදනාවක් ආවා එහි වගකීම මමත් භාරගත යුතුයි කියලා. එසේ වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ක්‍රියාකාරිත්වය තුළ මේ සිදුවීම් සිදුවෙලා රට තුළ මහා ගින්නක් වගේ ඇතිවුණා. විශාල උණුසුමක් වුණා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා අදත් නැහැ. ඔහු අල්ලා ගැනීම පිළිබඳව වැඩපිළිවෙළක් හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. මේ මංකොල්ලය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවට සහයෝගය දුන්න ද, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහ අනිත් නිලධාරින්ට තර්ජන ආවා, ඒ අයට බලපෑම් ඇති වුණා. ඒ අයට විරුද්ධව පරික්ෂණ පැවැත්වුවා.“

    “මම මහින්ද රාජපක්ෂ මහත්තයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේ ඔක්තෝබර් 26 වෙනිදා. ඊට දවස් හතරකට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහබැංකු මංකොල්ලයේ වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම අවශ්‍යයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළ අල්ලස් හා දුෂණ කොමිෂන් සභා සංශෝධන පනත වචන කිහිපයක් සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට යවලා මාස 05 කට වැඩිය මේක කබඞ් ඇතුලේ තිබුණා. මම මේ ගැන අවස්ථා කිහියක් තළතා අතුකෝරළ ඇමතිනියට කිව්වා එතුමිය අධිකරණ ඇමතිනිය නිසා. කිරිඅැල්ල ඇමතිතුමාට කිව්වා. කිරිඇල්ල ඇමතිතුමා කියලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් අවසානයේ දින නියමයක් නැතිව එම සංශෝධනය කල් දැම්මා. දැන් ඒ කල්දැමීම තුළ ඒ පනත සංශෝධනය වෙන්නේ නැහැ. අවුරුදු 15 කට 20 කටවත් මේ බිලියන් දාහකට වැඩියි කියන මහ මංකොල්ලයේ පරික්ෂණය කෙරෙන්නේ නැහැ. වැරදිකරුවන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ. මුදල් අය කර ගැනීමට හැකි වන්නේ නැහැ. මේ ප්‍රශ්නය අදත් බරපතළයි.“

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගිය 2018 මැයි මාසයේ දී කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් පහතින් දැක්වේ.

    මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වී ඇතැයි කියනු ලබන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා‍ව විසින් එම විමර්ශනය අවසානයේ ලබා දෙන ලද වාර්තාව අනුව, එහි දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වෝහාරික විගණන සිදු කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ.

    ඒ සඳහා මනා පරිචයක් හා විශේෂඥතාවක් සහිත ස්වාධීන ජාත්‍යන්තර විගණන සමාගමක/සමාගම්වල සේවය ලබාගැනීම සුදුසු බව යෝජනා වී ඇති අතර, සුදුසු එවැනි සමාගමක් තෝරා ගැනීම සඳහා උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.