බැඳුම්කර වෝහාරික විගණන ප්‍රතිඵල නොවැම්බරයේ දී නීතිපති අතට

    October, 11, 2019

    මහ බැංකු බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙමින් තිබෙන වෝහාරික විගණනයන් එළඹෙන නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය.

    “වෝහාරික විගණනයන් 6 ක් පැවැත්වෙනවා. මෙයින් 5 ක් නොවැම්බර් වන විට අවසන් කිරීමට හැකිවේවි“, යැයි මහ බැංකු අධිපතිවරයා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අධිපතිවරයා පැවසුවේ මෙම වෝහාරික විගණනයේ අවසන් වාර්තාව මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයා වෙත එය ඉදිරිපත් කරනු ලබන බවත් ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි කටයුතු තීරණය කෙරෙනු ඇති බවත්ය.

    මෙහිදී 1997 සිට සිදු වූ බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුවන හෙයින් ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධ විගණනය පමා වීමට හෝ ඊට බලපෑමක් වී ඇතිදැයි මාධ්‍යවේදියෙකු මෙහිදී විමසා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා,

    “වෝහාරික විගණනවල ප්‍රතිඵලයන්ට මෙයින් බාධාවක් වන්නේ නැහැ. වෝහාරික විගණන පහෙන් එකක් තියෙන්නේ එම කාලයට අදාළව. ඒ විගණනය වුවත් ඉක්මනින් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ආයතන තෝරාගනීමේ පටිපාටියේ දී ඒ ක්‍රියාවලිය අනුගමනය කරන්න සිදුවුණා. ඒ නිසා මේ කාර්යය ඉක්මන් කිරීමක් සිදුවන්නේ නැහැ. අනෙක් ඒවා සමඟ මිශ්‍ර වීමක් සිද්ධ වන්නේත් නැහැ. ඒකට හේතුව එම කාලපරිච්ඡේදයට වෙනම විගණනයක් සිදුකර තිබෙන නිසා. මේ ප්‍රතිඵල අපට නොවැම්බර්වල දී දැකගන්න පුළුවන්.“

    ඡායාරූපය - ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා (දකුණේ) සහ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා