බිඳ වැටුණු ආර්ථික අපේක්ෂා සෙමින් හිස ඔසවයි

    November, 18, 2016

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2016 සැප්තැම්බර් මාසය

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2016 සැප්තැම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ පසුගිය කාලයේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ මෙම රජය බලයට පත්වන කාල සීමාවේදී ජනතාව තුළ ආර්ථික අපේක්ෂාවන් ඉතාමත් ඉහළ ලෙස වර්ධනය වී තිබුණු බවයි. උදාහරණයක් ලෙස ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2014 දෙසැම්බර් මාසය වනවිට 15% ක පමණ මට්ටමක තිබී 2015 ජනවාරි වනවිට 40% ක් තරම් ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණි. කෙසේවෙතත්, මෙම අපේක්ෂාව 2016 මාර්තු මාසය වනවිට 8% ක් වැනි අගයක් දක්වා පහත වැටී ඇත. ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2016 සැප්තැම්බර් මාසය වෙනුවෙන් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව යළිත් වර්ධනය වෙමින් තිබෙන බවයි. මේ අනුව, 2016 සැප්තැම්බර් මාසයේදී මෙම අපේක්ෂාව 12% ක් වැනි අගයක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ පිළිබඳව පහත ප්‍රස්ථාරය මගින් තවදුරටත් කරුණු අවබෝධ කර ගත හැකිය.

    පසුගිය සමයේ මන්දගාමී වූ රජයේ ආර්ථික වැඩපිළිවෙල ගෙවුණු සැප්තැම්බර් මාසය වනවිට යම් පමණකට හිස ඔසවමින් පැමිණීම ජනතාවගේ අපේක්ෂාවන් ඉහළ දැමීමට හේතුවී ඇතැයි සිතිය හැකිය. විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරමින් වසරේ පළමු මාස අට තුළ දී සංචාරක ඉපැයීම් 16% කින් ඉහළ ගිය අතර, 2016 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 4.5% කින් ඉහළ ගොස් ඇත.
    2016 වසරේ අගෝස්තු මාසය අවසානය වනවිට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.6 ක් දක්වා වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර 2016 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

    මීට අමතරව, ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව (NCPI) පසුගිය ජූලි මාසයේදී පැවති 5.8% ක්වූ උද්ධමනය පසුගිය අගෝස්තු මාසය වනවිට 4.5% ක් දක්වා වාර්ෂික පදනමට අනුව අඩුවූ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව වාර්ෂික පදනම මත උද්ධමනයද 2016 අගෝස්තු මාසයේදී තිබූ 4.0% ක මට්ටමේ සිට 2016 සැප්තැම්බර් වනවිට 3.9% ක් දක්වා අඩුවී ඇත. මේ අතර, දළ දේශීය නිෂ්පාදිතය 2016 මුල් මාස 06 තුළදී මූර්ත වශයෙන් 3.9% ක වර්ධනයක් පෙන්වා තිබෙන අතර මෙහිදී සේවා අංශයේ 4.9% ක වර්ධනයක්ද, කර්මාන්ත අංශයේ 5.2% ක වර්ධනයක්ද ලබාගෙන තිබේ.

    එසේම, බැංකු මගින් පුද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය 2016 ජූලි මාසයේදී රුපියල් බිලියන 62.9 කින් වර්ධනය වී තිබීම කැපී පෙනේ. ගිය වසරේ මුල් මාසය 06 තුළදී දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස 5.4% ක් ලෙස තිබූ රාජ්‍ය ආදායම් මේ වසරේ මුල් මාස හය තුළදී 6.0% ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    2016 සැප්තැම්බර් මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාවන් යළිත් යම් පමණකට වර්ධනය වීමට මෙම කරුණු බලපාන්නට ඇත.

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    මෙම තත්ත්වය තවදුරටත් තහවුරු කරමින් ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද 2016 සැප්තැම්බර් මාසයේදී යම් පමණකට ඉහළ ගොස් තිබෙන බව පෙනී යයි. වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී මෙම අපේක්ෂාව ඉතාමත් ඉහළ තත්ත්වයක තිබූ අතර පසුව එය ක්‍රමයෙන් අඩුවිය. යළිත් 2016 සැප්තැම්බර් මාසයේදී මෙම අපේක්ෂාව ඉහළ ගොස් තිබෙන බව පෙනී යයි. (02 වන ප්‍රස්ථාරය බලන්න)

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණය අඩුවේ යැයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව එය ක්‍රමයෙන් පහළ ගොස් තිබුණි. නමුත්, 2016 ආර්ථික අපේක්ෂා දර්ශකයේ සැප්තැම්බර් මාසයේදී කැපී පෙනෙන කාරණයක් වන්නේ එසේ බිඳ වැටුණු අපේක්ෂාවන් යළිත් වර්ධනය වෙමින් තිබීමයි. ගෙවුණු සැප්තැම්බර් මාසයට ආසන්න කාලයේදී රජය විසින් දූෂණයට විරුද්ධව කටයුතු කළ ආකාරය මෙම අපේක්ෂාව යළිත් වර්ධනය වීමට හේතු වන්නට ඇත. (03 වන ප්‍රස්ථාරය බලන්න)

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.