බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා

    August, 17, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් දෙකක් වන ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී යන සමාගම් දෙක විසින් 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා නොබෝදා ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    මෙම මූල්‍ය ප්‍රකාශනවලට අනුව සමාගම් දෙකම පසුගිය මූල්‍ය කාර්තුවේ දී කැපී පෙනෙන කාර්යසාධනයක් වාර්තා කර තිබේ.

    ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී විසින් මෙම කාර්තුව තුළ දී ලබා ඇති ආදායම රු. බිලියන 9.44 කි. මෙය 2017 ජූනි කාර්තුව හා සැසඳීමේ දී 74% ක වර්ධනයක් වේ. මෙම කාර්තුව තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය රු. මිලියන 145.61 සිට රු. මිලියන 487.89 ක් දක්වා 235% කින් වැඩි වී ඇත.

    2018 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 747.19 කි. මෙය 2017 ජූනි කාර්තුවේ දී වාර්තා කරන ලද රු. මිලියන 320.41 ක බදු පසු ලාභය හා සැසඳීමේ දී 133% ක වර්ධනයක් වේ.

    මේ අකර මෙම කාර්තුව තුළ දී ඩිස්ටිලරීස් සමාගමේ දළ අදායම රු. බිලියන 21 .34 සිට රු. බිලියන 19.19 ක් දක්වා 10.1% කින් පහළ ගොස් තිබේ.

    කෙසේ වෙතත් මෙම කාර්තුව තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය 78% කින් වැඩි වී ඇති අතර එම වටිනාකම රු. මිලියන 760.84 ක් ලෙසින් සටහන් වේ.

    මෙහිදී ඩිස්ටිලරීස් සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 579.24 සිට රු. බිලියන 1.06 ක් දක්වා 83.7% කින් වැඩි වී ඇත.