බිලියන 50ක ණය සහන ගන්න බිලියන 250ක අයදුම්පත් ඇවිත් – ලංකාවේ ලොකුම බැංකුවක අධ්‍යක්ෂවරයෙක් අනාවරණය කරයි

    May, 29, 2020

    කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන්, ස්වයං රැකියාවන් ඇතුළු ව්‍යාපාර සඳහා සහාය වීමට රුපියල් බිලියන 50ක සය-මාසික ප්‍රතිමූල්‍ය පහසුකමක් හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මාර්තු 27 දින චක්‍රලේඛයක් නිකුත් කරන ලදී.

    කොවිඩ්19 මගින් බලපෑමට පත් පුද්ගලයන්, ස්වයං-රැකියා ඇතුළු ව්‍යාපාර සඳහා පුළුල් ෆිස්කල් හා මූල්‍ය සහන සැපයීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් 2020.03.20 වැනි දින ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ප්‍රතිමූල්‍ය පහසුකම ස්ථාපනය කිරීමට තීරණය කරන ලදී.

    මෙම සහන අතරට ණය සහන කාලයක් (ප්‍රාග්ධනය හා පොළිය) සහ සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන් සඳහා 4% පොලී අනුපාතයකට කාරක ප්‍රාග්ධන පහසුකම් සැපයීම අයත් වේ.

    කෙසේ වෙතත් මේ වන විට බැංකු වෙත මෙකී සහන ලබා ගැනීම සඳහා රු. බිලියන 250 ක පමණ අයදුම්පත් ලැබී ඇති බව ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ සංගමයේ සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා පවසයි. අද (29) පෙරවරුවේ අද දෙරණ 24 BIG FOCUS සජීවී සංචාද වැඩසටහන සමඟ එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කර සිටියේය. ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ.

    මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා,

    “බිලියන 50 ක් තමයි මේ මුදල දීලා තියෙන්නේ. මේ වෙනකොට බිලියන 250 ක පමණ අයදුම්පත් ලැබිලා තියෙනවා බැංකුවලට. මමත් ලංකාවේ ලොකුම බැංකුවක අධ්‍යක්ෂ කෙනෙක්. අපේ බැංකුවට බිලියන 6යි ලැබිලා තියෙන්නේ. බිලියන 85 ක විතර අයදුම්පත් ලැබිලා තියෙනවා. 65,000 ක් අයදුම්පත් තියෙනවා. 17,000 කට විතරයි දෙන්න පුළුවන්.“