බිස්නස් කරන්න අලුත් ආණ්ඩුව හොඳයි?

    December, 5, 2018

    LMD-Nielsen Business Confidence Index (BCI) දර්ශකය පසුගිය නොවැම්බර් මාසයේ දී 110 දක්වා පදනම් අංක 25 ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර තිබේ. 2018 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය 85 ක් ලෙසින් වාර්තා වූ අතර පසුගිය මාස 114 ක කාලය තුළ මෙම දර්ශකය වාර්තා කළ අඩුම අගය ලෙසින් එම අගය වාර්තා විය.

    පැවති සම්මුතිවාදී රජය 2015 අගෝස්තු මාසයේ දී බලයට පත්වීමත් සමගම එම වසරේ සැප්තැම්බර් මාසයේ දී පදනම් අංක 29 ක ඉහළ යාමක් මෙම BCI දර්ශකය වාර්තා කළේය. කෙසේ වෙතත් ඊට පසු මාසයේ දී පදනම් අංක 46 ක පහළ යාමක් මෙම දර්ශකයට අනුව දැකගත හැකිවිය. ඒ අනුව පෙර අත්දැකීම යළි සිදුවේද නැතිද යන වග මෙම දෙසැම්බරයේ සමීක්ෂණ ප්‍රතිඵල අනුව බලා ගත හැකිය.

    නොවැම්බර් මාසයට අදාළව LMD-Nielsen Business Confidence Index සමීක්ෂණය මාසයේ මුල් සතියේ දී පවත්වා තිබෙන අතර ඔක්තෝබර් 26 දින සිදු වූ දේශපාලනික බලපෙරළියත් සමඟම මෙම සමීක්ෂණය සඳහා මෙයාකාරයෙන් ප්‍රතිචාර ලැබී තිබේ.

    සමීක්ෂණයේ දී අදහස් දැක්වූ එක් ආයතනික විධායකවරයෙකු පවසා ඇත්තෙ නව රජය විසින් පවතින බදු අඩු කර හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කර පාරිභෝගිකයින්ගේ ක්‍රය ශක්තිය වැඩිකිරීමට කටයුතු කිරීම හරහා සිය ව්‍යාපාර වෙත සාධනීය බලපෑමක් සිදුකෙරුණු ඇති බවයි.

    එසේම මෙම සමීක්ෂණයේ දී තවත් ප්‍රතිචාරකයෙකු පවසා ඇත්තේ පවතික දේශපාලන අස්ථාවරත්වය තුළ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් 2018 පෙබරවාරි මාසය දක්වා වූ බොහෝ වෙන්කිරීම් අවලංගු කිරීමට සංචාරකයින් පියවර ගෙන ඇති බවත්ය.