July, 30, 2019
ඔයිල් පාම් වගාව සහ නැවත සිටුවීම සම්බන්ධව රජය ගෙන ඇති තීරණය ඉදිරි මාස තුන ඇතුළත වෙනසක් සිදුනොවුණහොත් රුපියල් මිලියන 500 ක වටිනාකමකින් යුතු ආනයනික ඔයිල් පාම් බීජ රෝපණය කිරීමට නොහැකි වීමේ අර්බුදය හේතුවෙන් මෙරට ඔයිල් පාම් වගාව නැවත හැරවිය නොහැකි ලෙස අනතුරකට පත්වන බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කරයි.
පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පිලිබඳ අදහස් දැක්වූ වැවිලි සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මහතා ඔයිල් පාම් වගාව සහ නැවත සිටුවීම සම්බන්ධයෙන් රජයේ පැහැදිලි දිශානතියක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වඩාත් ලාභදායී වැවිලි භෝගයක් දැඩි ලෙස අනතුරට පත්වෙමින් ඇති බව ප්‍රකාශ කර සිටියේය.
‘‘ශ්‍රී ලංකාවේ පළමු ඔයිල් පාම් වගාව ඇරඹුණේ මීට වසර 50 කට කලින්, එනම් වතු පුද්ගලීකරණය වීමට කලින්, එතැන් සිට දශක ගණනාවක් එය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පැමිණියා. ඇත්තටම වැවිලි ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනය සහ දියුණුව සඳහා භෝග විවිධාංගිකරණය විය යුතු බව සියලූ පාර්ශවයන් පිළිගත් කරුණක්’’
‘‘මෙම සියලූ දේ ක්‍රමාණුකූලව, ව්‍යූහගතව සහ කොන්දේසිවලට අනුකුලව මෑතක් වනතුරම ක්‍රියාත්මක වුණත් අවාසනාවකට මෙන් පසුගිය වසර හතර තුළ වැවිලි ක්ෂේත්‍රය සම්බන්ධව ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තීන් විද්‍යාත්මක සහ ආර්ථික දත්තවලින් බැහැරව දේශපාලනමය න්‍යායන් මත ක්‍රියාත්මක වීම බොහෝ ගැටලූ වලට මුල්ව තියෙනවා. එනිසා අප වැවිලි කරුවන්ගේ සංගමය වශයෙන් ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක මෙම බාධාවන් ඉවත් කර නැවත එම බීජ වගා කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමට අවශ්‍ය ස්ථිර හා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ප්‍රතිපත්ති සම්පාදක්යින්ගෙන් ඉල්ලා සිටිනවා යැයි” පැවසීය.
මේ පිළබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසනුයේ ඉදිරි මාස තුන තුළ මෙම ගැටලූව සම්බන්ධයෙන් රජයට නිසි තීරණයක් ගත නොහැකි වුවහොත් ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට සෘජු ලෙස රුපියල් මිලියන 500 ක දැවැන්ත පාඩුවක් සිදුවන බවයි. එමෙන්ම වතමන් ඔයිල් පාම් වගාවන් කල් යාමේදී ඵලදාව අඩු වන බවත් නැවත වගා නොකළහොත් ඔයිල් පාම් වගාව ඇතුළු සමස්ථ වැවිලි ක්ෂේත්‍රයම අනතුරකට ලක්වන බව පවසයි.
ඔයිල් පාම් හී ඇති විශාල ආර්ථික විභවය පිලිබඳ සහ ආහාරයට ගතහැකි තෙල් ආනයනය සඳහා රුපියල් බිලියන 30 ක ආනයන වියදම් අවම කරගැනීමට හෙක්ටයාර 9,538 සිට හෙක්ටයාර 20,000ක් දක්වා ඔයිල් පාම් වගාව ව්යා පත් කිරීමේ පෙර තිබු ජාතික ඉලක්කය පිලිබඳ අදහස් දක්වමින් වටවල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා මෙසේ පැවසීය.
‘‘වර්තමානයේ ශ්‍රී මහ ලංකාවේ ආහාරයට ගත හැකි තෙල් මෙට්‍රික් ටොන් 220,000 ක් පමණ ආනයනය කරන අතර දේශීය වශයෙන් පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 19,740 ක් සහ පොල් තෙල් මෙට්‍රික් ටොන් 48,805 ක් නිපදවනු ලබනවා. මේ දත්ත අනුව ශ්‍රී ලංකාව ශුද්ධ තෙල් ආනයනකරුවකු වන අතර අප තෙල් අපනයන මට්ටමට ළඟාවී නොමැති බව පෙනී යනවා. මන්ද අප නිපදවනු ලබන සියලූම තෙල් දේශීය ඉල්ලූම සපුරාලීම සඳහා වෙන්වෙන අතර එසේ නොවුනහොත් තෙල් ආනයනය සඳහා තවත් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ වෙත ඇදී යනවා. එමෙන්ම ඔයිල් පාම් යනු ලෝකයේ ඉතා කාර්යක්ෂම වැවිලි භෝගයක් වන අතර එය හෙක්ටයාරයකට පොල් වලට වඩා සිව් ගුණයක ඵලදාවක් මෙන්ම අනෙකුත් තෙල් ලබා දෙන භෝගයන්ට සාපේක්ෂව විශාල අස්වැන්නක් ලබා දෙනවා.”
‘‘මේ අනුව බැලීමේදී ගෘහස්ථ පොල් තෙල් ඉල්ලූම සපුරාලීම සඳහා අප හෙක්ටයාර 100,000 ක පොල් වගා කල යුතු අතර එය තාර්කික නොවන කරුණක් . ඊට සාපේක්ෂව ඔයිල් පාම් වගාකල යුතු වන්නේ හෙක්ටයාර 20,000 ක් පමණි. වර්තමානයේ මේ සම්බන්ධව බොහෝ කරුණු කාරණා මතු කලත් ඔයිල් පාම් යනු අපට කිසිසේත් අලූත් භෝගයක් නොවේ. එය පසුගිය වසර 50 ක් පුරා නාකියාදෙණිය වතුයායේ වගාකර ඇති අතර මේ දක්වා ඒ සම්බන්ධව කිසිදු ගැටළුවක් පන නැගී නැහැ. විශේෂයෙන් කිසිදු ඍණාත්මක පාරිසරික බලපෑමක් නොමැති ඉහළ ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන මෙම භෝගය පිලිබඳ ගෙන ඇති තහනම ඉවත් කර අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්න ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටිමු යැයි”, පනන්වල මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය සාකච්ඡාව අවසන් කරමින් ඔයිල් පාම් ශාඛය පිලිබඳ ඇති මිථ්‍යා මත පහදමින් විද්‍යාත්මක විග්‍රහයක් කළ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ වැවිලි කළමනාකරණ පීඨයේ මහාචාර්ය අසෝක නුගවෙල මහතා මෙසේ පැවසීය.
‘‘ඔයිල් පාම් සම්බන්ධව පැතිරී ඇති මිත්‍යාව මත පිලිබඳ බැලීමේදී ප්‍රමුඛතම චෝදනා දෙක වන්නේ භූගත ජලය සිඳී යාම, විශාල ලෙස ජලය සහ පොහොර අවශ්‍ය වීම යන කාරණා වේ. නමුත් මෙම සියලූ චෝදනා පදනම් විරහිත චෝදනා වේ. මේ සඳහා අපට ගත හැකි හොඳම උදාහරණය වන්නේ මැලේසියාවයි මැලේසියාවේ වසර 100 කට වඩා වැඩි කාලයක් පුරා ඔයිල් පාම් වගාව මහා පරිමාණයෙන් කරගෙන යන අතර මේ වන තෙක් ඔවුන්ට එවැනි කිසිදු ගැටලූවක් ඇති වෙලා නැහැ. ඒවගේම එහි තවත් විශේෂ කරුණක් වන්නේ මැලේසියාවේ වැඩිම ඔයිල් පාම් වගා කරනු ලබන ප්‍රාන්තයෙන් සිංගප්පුරුවට ජලය අපනයනය කිරීමයි. ඒවගේම එම ප්‍රාන්තයේ වර්ෂාපතනය පවා අප ඔයිල් පාම් වගා කරනු ලබන තෙත් කලාපයේ වර්ෂාපතනයට වඩා අඩුවීමයි.
එසේම ඔයිල් පාම් වගාව සම්බන්ධව සියලූ වාර්තා ඕනෑම අයකුට පරිශීලනය කල හැකි පරිදි ප්‍රසිද්ධ කර තිබෙන අතර ඔයිල් පාම් වගාවෙන් පරිසරයට සිදු වන්නා වූ බලපෑම වෙනත් ඕනෑම වාණිජ භෝගයක් හා සමාන බව එම වාර්තා පරිශීලනය කිරීමේදී පෙනී යයි. කෙසේ වෙතත් මෙම වාර්තා පිලිබඳ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ රාජ්‍ය නොවන සංවිධාන යනාදී පීඩන කණ්ඩායම් කිසිදු සැලකිල්ලක් නොදක්වමින් තම මතය පමණක් ඉස්මතු කිරීමට උත්සාහ කරනු ලබනවා.
‘‘මෙම අත්‍යාවශ්‍ය භෝගය සඳහා ප්‍රාදේශීය වතු සමාගම් මේ වන විට අති විශාල ආයෝජනයක් සිදු කර බොහෝ අවදානම් තත්ත්වයක සිටින අතර වගාව සඳහා අවශ්‍ය සියලූ අනුමත කිරීම් සමග පොල් පර්යේෂණ ආයතනය සහ නිරෝධායන දෙපාර්තමේන්තුව මගින් අදාළ වතුවල කිසිදු රෝගයක් නොමැති බවත් තහවුරු කර තිබෙනවා. එවැනි තත්ත්වයක් මත කිසිදු සාධාරණ කරුණකින් තොරව පනවා ඇති තහනම හේතුවෙන් වගාකරුවන් බොහෝ අවදානම් තත්ත්වයකට පත්ව මුහුණ දී සිටිනවා. විශේෂයෙන් ඉදිරි මාස තුන තුළ ප්‍රතිපත්ති සම්පාදකයින් මේ සම්බන්ධව ධනාත්මක තීරණයක් නොගතහොත් ඇතිවන විශාල පාඩුවත් සමග ශ්‍රී ලංකා ආර්ථිකයටද විශාල බලපෑමක් නිසැකවම එල්ලවන බව මහාචාර්ය නුගවෙල පවසයි.
මේ අතර ඉදිරි මාස තුන තුළ වගා කටයුතු ආරම්භ කිරීමට නොහැකි වුවහොත් ඔවුන්ට සිදුවන රුපියල් මිලයන 500 ක පාඩුව සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වැවිලිකරුවන්ගේ සංගමය සහ එහි සාමාජිකයන් සලකා බලමින් සිටින බව වැවිලි සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මහතා පවසයි. ‘‘වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තුමා මේ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න බවට සහතිකයක් දී ඇති නිසා අපි තවමත් එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා යොමු වී නැහැ. කෙසේවෙතත් තවමත් අප රජය පිලිබඳ විශ්වාසය තබා බලා සිටින අතර අවාසනාවකට මේ වන විට එය වසර දෙකක් ඉක්ම ගොස් තිබෙනවා. නමුත් තවදුරටත් මේ ප්‍රමාදය අපට දරාගැනීමට නොහැකි බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
Video Story