බෝගල ග්‍රැෆයිට්, රන්ගල පතලට අත තියයි

    August, 1, 2014

    බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී. සමාගම විසින් රන්ගල පතලේ ග්‍රැෆයිට් ගවේෂණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

    රන්ගල පතලේ සියයට සියයක කොටස් අයිතිය බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී. සමාගමට තිබෙන අතර මෙම පතල පිහිටා තිබෙන්නේ බෝගල පතලේ සිට කිලෝ මීටර් 08 ක් නිරිත දිගට වන්නටය.

    වාණිජ වටිනාකමක් සහිත ඉහළ ගුණාත්මක තත්ත්වයකින් යුතු නිර්මල ග්‍රැෆයිට් සැලකිය යුතු ප්‍රමාණයක් රන්ගල පතලේ ඇතැයි සොයාගෙන තිබෙන අතර එහි මෙහෙයුම් කටයුතු අවසාන වරට සිදුකර තිබෙන්නේ 1983 වසරේදීයි.

    බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී. සමාගම විසින් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශයෙන් රන්ගල පතල සඳහා බලපත්‍රයක් අයදුම් කර තිබේ.

    රන්ගල පතල ආරම්භ කිරීමෙන් ලැබෙන වාණිජ බලපෑම තවමත් ඇගයුමට ලක්කර නොමැත.

    බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී. සමාගම යනු පිරිසිදු භාවයෙන් ඉහළ ග්‍රැෆයිට් ලෝක වෙළඳ පොළට සපයන විශාලතම සමාගම වන අතර මෙම සමාගමේ ප්‍රධාන කොටස්කරුවා වන්නේ ආසියාව, යුරෝපය සහ අප්‍රිකාවේ ග්‍රැෆයිට් කැණීමේ කටයුතුවල යෙදෙන ලොව ප්‍රමුඛතම ග්‍රැෆයිට් නිෂ්පාදන සමාගමක් වන AMG Mining සමාගමයි.