බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් අඛණ්ඩ අලෙවිකරණ සහාය

    February, 17, 2020

    ජාතික අපනයන උපායමාර්ග සැලැස්ම යටතේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය විදේශ විනිමය උපයා ගත හැකි ප්‍ර‍ධාන ක්ෂේත්‍ර‍යක් ලෙස හඳුනා ගෙන ඇති අතර එම කර්මාන්තයේ සංවර්ධනය සහ ප්‍ර‍වර්ධනය වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු සම්පාදනය කරමින් සිටියි.

    ශ්‍රී ලංකාවේ උපායමාර්ගීය පිහිටීම අනුව, ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ බෝට්ටු නිෂ්පාදන කේන්ද්‍ර‍ස්ථානය බවට පත්වීමේ හැකියාවක් පවතී. එසේ ම ධීවර, කාර්මික, වාණිජ හා විනෝදාස්වාද අරමුණු කර ගත් බෝට්ටු සඳහා කලාපීය හා ගෝලීය වශයෙන් ඇති ඉල්ලුම සලකා බලන කල ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සඳහා පුළුල් වෙළඳපොලක් නිර්මාණය වී ඇත.

    දේශීය බෝට්ටු නිෂ්පාදකයින්ගේ හැකියාවන් ගෝලීය වෙළඳපොල වෙත හඳුන්වාදීමේ වැදගත්කම සලකා බලා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2019 වර්ෂයේ (සැප්තැම්බර් 19-24) ඉතාලියේ පැවති ජෙනෝවා බෝට්ටු ප්‍ර‍දර්ශනයට (Genoa Boat Show) සහභාගී වීමේ අවස්ථාව විවර කරදෙනු ලැබිණි. එහි දී මෙරට ප්‍ර‍මුඛ පෙළේ බෝට්ටු නිෂ්පාදකයෙකුට ප්‍ර‍දර්ශනය කරන ලද බෝට්ටු සඳහා යුරෝ 6900ක ඇණවුමක් ලැබීම මෙම කර්මාන්තය කෙරෙහි නව බලාපොරොත්තු තබා ගත හැකි සුභාරංචියකි.

    යුරෝපයේ වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර බෝට්ටු ප්‍ර‍ර්ශනයක් වන ජර්මනියේ Dusseldorf (Dusseldorf Boat Show) ගෘහස්ථ බෝට්ටු ප්‍ර‍දර්ශනය සඳහා දේශීය බෝට්ටු නිෂ්පාදන සමාගම් 3ක සහභාගීත්වය සංවිධානය කිරීමට ෆ්‍රැන්ක්ෆර්ට්හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්ගේ සහාය ඇතිව අපනයන සංවර්ධන මණ්ඩලයට හැකි විය. Dusseldorf බෝට්ටු ප්‍ර‍දර්ශනය; අනාගත ගැනුම්කරුවන් සමඟ ධනාත්මක සබඳතා ඇති කර ගැනීමටත්, කර්මාන්තයට අදාළ නව ප්‍ර‍වණතා හා වර්ධනයන් පිළිබඳ අවබෝධය ලබා ගැනීමටත්,‍ නිෂ්පාදකයන්ගේ නව බෝට්ටු ආකෘති ඉදිරිපත් කිරීමටත් කදිම වේදිකාවක් විය. මෙම බෝට්ටු ප්‍ර‍දර්ශනයට සහභාගී වීමේ ප්‍ර‍තිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන ඕලන්ද නිෂ්පාදන හවුල්කරුවෙකු සමඟ සම්බන්ධ වීමට ද දේශීය සමාගමකට හැකි විය.

    බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය දේශීය වශයෙන් නිෂ්පාදකයින් සඳහා හිතකාමී පරිසරයක් නිර්මාණය කරන අතර ම ගෝලීය වශයෙන් කර්මාන්තයේ හැකියාව ඉහළ නැංවීමට අන්තර්ජාතික වෙළඳපොළ තුළ වැඩි ඉඩක් සැකසීම වෙනුවෙන් ද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සලසා දී ඇත.

    අපනයන සංවර්ධන මණ්ඩලය මගින් බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ(ධීවර බෝට්ටු හැර) සමස්ත වටිනාකම් දාමය සඳහා නියාමන රාමුවක් ස්ථාපිත කිරීමට සහ බෝට්ටු දියත් කිරීමේ පහසුකම් සැලසීම උදෙසා කප්පරතොට දියකඩනයක් ස්ථාපිත කිරීම දැනටමත් ආරම්භ කර ඇත.

    තව ද අදාළ රජයේ පාර්ශ්වකරුවන් සමඟ මෙම අංශය මුහුණ දෙන ගැටලු පිළිබඳව ද අපනයන සංවර්ධන මණ්ඩලය අවධානය යොමු කරනු ඇත.