බෝයාව කැඩී තෙල් සංස්ථාව අර්බුදයක. ඛනිජ තෙල් හිඟ වෙයිද?

    June, 26, 2014

    මෙරටට නැව් මගින් එන බොරතෙල් වෙරළින් කිලෝ මීටර් 09 ක් පමණ මුහුදේ සිට ගොඩබිමට ප්‍රවාහනය කරන බෝයාවේ රබර් නලයක් පළුදුවීම නිසා බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුව වෙත ගෙන ඒමට මේ වනවිට නොහැකි වී තිබේ.

    මේ නිසා, රට තුළ ඛනිජ තෙල් හිඟයක් ඇතිවේ යැයි පැතිර යන රාවය වැරදි එකක් බවත් එවැනි ඛනිජ තෙල් හිඟයක් ඇති නොවනු ඇති බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය, අනුර ප්‍රියදර්ශන යාපා අද පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

    ඔහු පැවසුවේ මේ වනවිට රටට මාසයකට අවශ්‍ය ඛනිජ තෙල් තොග තිබෙන බවත් ලංකාවට තුනෙන් දෙකක් පමණම ගෙන්වන්නේ පිරිපහදුකළ තෙල් නිසා බොරතෙල් පිරිපහදු කිරීම නැවතීම නිසා ප්‍රශ්නයක් නොවන බවයි.

    සපුගස්කන්ද පිරිපහදුව මේ වනවිට වාර්ෂික නඩත්තු කටයුතු සඳහා වසා තිබෙන බවත් ඉදිරියේදී එය විවෘත කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    බෝයාවේ පළුදු වූ තෙල් ප්‍රවාහනය කරන රබර් නලය සකස් කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා බෝයාව මිලදීගත් සමාගම සහ එය නිෂ්පාදනය කළ සමාගම සමගද සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

    බෝයාවේ දෝෂය නිවැරදි කර ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේදී නැවෙන් නැවට බොරතෙල් මාරු කරන ක්‍රමයකින් සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය තෙල් තොග ගෙන ඒමට සැලසුම් කර තිබේ.

    මෙම බෝයාව ඉතාලි සමාගමකින් මිලදීගෙන තිබෙන්නේ අවුරුදු 03 ක වගකීමේ සහතිකයක් ඇතිව වුවත් එය මාස තුනහ මාරකින් පළුදුවී තිබීම පිළිබඳව කාගෙත් අවධානයට ලක්ව තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මුහුදේ රළු ස්වභාවය නිසා හෝ නොදන්නා හේතුවක් නිසා මෙම බෝයාව පළුදු වී තිබෙන බවයි.