බ‍්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකු සන්නාමය’ ලෙස කොමර්ෂල් බැංකුව නම් කරයි

    May, 28, 2020

    ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පුද්ගලික බැංකු සන්නාමය යන තත්ත්වය එලෙසම 2020 වසරේ ප‍්‍රමුඛතම සන්නාම අතර වැඩිම සන්නාම වටිනාකම් වර්ධනයද වාර්තා කරයි

    කොමර්ෂල් බැංකු සන්නාමයේ ශක්තිය නැවත වරක් තහවුරු කරමින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකුව සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකු සන්නාමය නම්කර තිබේ. මේ අතර, ශ‍්‍රී ලංකාවේ සියළුම සන්නාම අතර හතරවන ස්ථානයට කොමර්ෂල් බැංකු සන්නාමය බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් තෝරාගෙන තිබෙන අතර මෙම ලැයිස්තුවේ තිබෙන ප‍්‍රමුඛතම ආයතනික සන්නාම 10 අතුරින් වැඩිම සන්නාම වටිනාකම් වර්ධනයක් ලබාගත් සන්නාමය බවට ද කොමර්ෂල් බැංකු සන්නාමය පත්වී ඇත.

    බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් 2020 වඩාත්ම වටිනා සන්නාම 100 ලැයිස්තුවේ හතරවන ස්ථානය මෙවරත් එලෙසම පවත්වා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබෙන අතර මෙම කීර්තිමත් වර්ගීකරණය ආරම්භ කළදා පටන් ප‍්‍රමුඛතම සන්නාම 10 අතරට පැමිණීමට හැකි වීම කැපී පෙනේ. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් කොමර්ෂල් බැංකු සන්නාමය සඳහා 2020 වසරේදී රුපියල් බිලියන 44 ක සන්නාම වටිනාකමක් ගණනය කර තිබෙන අතර එය ගිය වසරේ වටිනාකමට වඩා 18% ක වර්ධනයකි. මෙයින් පිළිඹිබු වන්නේ කොමර්ෂල් බැංකු සන්නාමය ගොඩනැංවීමේ කටයුතු අඛණ්ඩවම ප‍්‍රගතියක් පෙන්වා තිබෙන බවයි.
    මේ අතර, මෙම වර්ගීකරණය මගින් ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ බැංකු අතුරින් වඩාත්ම වටිනා සන්නාමය ලෙස කොමර්ෂල් බැංකු සන්නාමය නම්කර ඇත.

    කොමර්ෂල් බැංකුව වෙත ලබාදී තිබෙන මෙම වර්ගීකරණය පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් පවසන්නේ බැංකුව ලබාගෙන තිබෙන ත‍්‍රිත්ව AAA (Triple A) සන්නාම වර්ගීකරණයද මෙම ජයග‍්‍රහණ වලට හේතුවී තිබෙන බවයි. බැංකුව විසින් ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන ඉහළ සේවාව කෙරෙහි දැඩි අවධානයක් යොමු තිබෙන බව මෙම වර්ගීකරණ මගින් ස්ථීර කර තිබෙන බවත් ව්‍යාපාර පහසු කිරීමට ගත් ක‍්‍රියාමාර්ග වලින් බැංකුවේ වර්ධනය ඉහළ ගොස් තිබෙන බවත් මෙහිදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් සඳහන් කර ඇත. මේ අතර, බැංකුව විසින් මෙවර ලබාගෙන තිබෙන AAA වර්ගීකරණය 2019 වසරේ වර්ගීකරණය සමග සැසඳීමේදී ස්ථාන තුනක් ඉදිරියට පැමිණීමකි.

    සමස්තයක් ලෙස ගත්විට මෙවර කොමර්ෂල් බැංකුවේ සන්නාම වටිනාකම 18% කින් වර්ධනය වීම කැපී පෙනෙන්නේ මේ වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාමවල මුළු වටිනාකම 4% කින් අඩුවී තිබෙන නිසාත්, බැංකු අංශයේ සමස්ත සන්නාම වටිනාකම ද 3.3% කින් පහළ ගොස් තිබෙන නිසාත්ය.
    බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් ශ‍්‍රී ලංකා සන්නාම 100 විශ්ලේෂණය කොවිඞ්-19 වසංගතයට පෙර සකස් කර තිබෙන අතර වසංගත තත්ත්වය නිසා මෙම සන්නාම වල කාර්ය සාධනයට ඇතිවී තිබෙන බලපෑම මෙමගින් නිරූපනය නොකරයි. කෙසේවෙතත්, බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ගණනය කර තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය මෙරට ප‍්‍රමුඛතම සන්නාම 100 වටිනාකම 9.5% කින් පමණ අඩුකරනු ඇති බවත් එහි සමස්ත පාඩුව රුපියල් බිලියන 57.4 ක් පමණ වනු ඇති බවයි.

    ශ‍්‍රී ලංකාව තුළ වඩාත් සක‍්‍රීය සහ දිදුලන සන්නාමයක් වන කොමර්ෂල් බැංකුව සිය සන්නාමය ගොඩනැගීමේ ක‍්‍රියාවලිය තුළ ආයතනික සහ නිෂ්පාදන සන්නිවේදනය සහ බිම් මට්ටමේ පාරිභෝගික ක‍්‍රියාකාරී වැඩසටහන් අතර ශක්තිමත් සමබරතාවයක් රඳවා ගැනීමට සමත්වී තිබේ. සාම්ප‍්‍රදායික මාධ්‍යයට අමතරව බැංකුව සමාජ මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය තුළ සහ ජාතික මෙන්ම පළාත් මට්ටමේ පාරිභෝගික ක‍්‍රියාකාරී වැඩසටහන් වලදී වඩාත් සක‍්‍රීයව කටයුතු කරයි.

    අලෙවිකරණ සැලසුම් සකස් කිරීමේදී සහ සන්නාමය ගොඩනැගීමේ ක‍්‍රියාකාරකම් වලදී එයට අදාළ උපාය මාර්ගය කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන බව බැංකුව සඳහන් කරයි. කොමර්ෂල් බැංකුව සිය සන්නාමයේ කාර්ය සාධනය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින අතර එහි කාර්ය සාධනය ගුණාත්මක සහ ප‍්‍රමාණාත්මක වශයෙන් මැණීම් කටයුතු කරයි. සන්නාමයේ ගුණාත්මක තත්ත්වය වැනි පරාමිතීන් සමීක්ෂණ මගින් වරින් වර බැංකුව සොයා බලන අතර එම සමීක්ෂණයන් හි, ප‍්‍රධාන නිරීක්ෂණයන් සන්නිවේදන කටයුතු සිදුකිරීමේදී යොදා ගැනීමට බැංකුව කටයුතු කරයි. මෙම උපාය මාර්ගික ප‍්‍රවේශය නිසා සන්නාමය නිරන්තරයෙන් ඉදිරියට යමින් ශ‍්‍රී ලංකාවේ ශක්තිමත් සන්නාමයක් බවට පත්වීමට හේතුවී තිබේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.