භික්ෂූන් වහන්සේ නමක් ලයිස්තුගත සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීමේ වරද මොකක්ද ? – මුදල් ඇමති අහයි

    February, 25, 2015

    බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ ලයිස්තුගත සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට භික්ෂූන් වහන්සේ නමක් පත්කිරීමේ වරද කුමක්දැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍යවේදීන්ගෙන් විමසීය.

    අද උදෑසන මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී නැගුණු පැනයක් වූයේ මෙරට ඉතිහාසයේ පළමු වරට ලයිස්තුගත සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට භික්ෂූන් වහන්සේ නමක් පත්කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දක්වන අදහස කුමක්ද කියායි.

    එම පැනයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළේය.

    ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය තීනියාවල පාලිත නාහිමියන්ව ලංකා හොස්පිට්ල්ස් පී.එල්.සී. ලයිස්තුගත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබෙන අතර එය සැලකෙන්නේ මෙරට ඉතිහාසයේ බෞද්ධ භික්ෂුවක් ලයිස්තුගත සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබෙන පළමු අවස්ථාව ලෙසටයි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග පැවසුවේ නව රජය විසින් ලංකා හොස්පිට්ල්ස් සඳහා පත්කර තිබෙන 13 දෙනෙකුගෙන් යුක්ත අධ්‍යක්ෂ මණ්ඩලයට පූජ්‍ය තීනියාවල පාලිත නාහිමියන්ද අයත් වන බවයි.

    එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම්වරයා වන පූජ්‍ය තීනියාවල පාලිත නාහිමියන් නුගේගොඩ නාලන්දාරාමාධිපති ස්වාමීන් වහන්සේයි.

    පසුගිය රජය විසින් විදුලිය ගාස්තු ඉහළ දැමූ විට එයට එරෙහිව පූජ්‍ය තීනියාවල පාලිත නාහිමියන් අධිකරණය හමුවට ගිය අතර ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයනයේදී පුද්ගලික බැංකු සමග ඇතිකර ගත් “හෙජිං” ගිවිසුම දූෂිතයැයි එයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ පෙත්සම්කරුවන් අතර පාලිත නාහිමියන්ද ප්‍රමුඛයෙකු විය.

    “හෙජිං“ ගනුදෙනුවට එරෙහිව පෙත්සම් ගොනුකළ අනිකුත් දෙදෙනා වන්නේ ලාෆ්ස් ලංකා සමාගමේ සභාපති, ඩබ්ලිව්. කේ.එච්. වෑගපිටිය මහතා සහ වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතායි.

    ලංකා හොස්පිට්ල්ස් සමාගමේ සභාපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජය පත්වීමත් සමග එහි සභාපති ධූරයෙන් ඉවත් වූ අතර මේ වනවිට සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ වෛද්‍ය සරත් පරණවිතාන මහතායි. ඔහු සීලයින් සමාගම් සමූහයට අයත් Ceymed Healthcare Services (Pvt) Ltd සමාගමේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරන බව එම රෝහලට අයත් වෙබ් අඩවියේ දැක්වේ.