මංගලගේ බ්‍රසල්ස් සාකච්ඡා හමුවේ මත්ස්‍ය අපනයන තහංචිය ගැලවෙයිද?

    February, 5, 2015

    මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයෙන් සිදුකරන ධීවර කටයුතු නතර කිරීමට නිසි පියවර නොගැනීම ඇතුළු යුරෝපීය සංගමය විසින් නිර්දේශ කළ කොන්දේසි ඉටු නොකිරීම නිසා ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගැනීමට කළ තීරණය එලෙසම තවදුරටත් ක්‍රියාත්මක වනබව යුරෝපීය කොමිසම සඳහන් කර ඇත.

    විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමග පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් බ්‍රසල්ස් නුවරදී පැවති සාකච්ඡා ඉතාමත් ධනාත්මක බව කොමිසම කියා තිබේ.

    මෙම සාකච්ඡා වලදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ කළමනාකරණය ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගැනීමට මංගල සමරවීර අමාත්‍යවරයා එකඟත්වය පළකළ බවත් එම ක්‍රියා මාර්ග පිළිබඳව යුරෝපීය කොමිසම සතුටට පත්වන්නේ නම් මෙම තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවත් පවසා ඇත.

    එතෙක් මෙම තහනම ක්‍රියාත්මක වනබව මේ සම්බන්ධයෙන් සිය නවතම ස්ථාවරය පහදමින් යුරෝපීය කොමිසම සඳහන් කර තිබේ.
    මෙරට මත්ස්‍ය අපනයන සමාගම් විසින් යුරෝපයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ අපනයනය කළ අතර මේ වනවිට අපනයන නතර වීමෙන් මෙම සමාගම් වැසී යන තත්ත්වයක් ඇතිවී තිබේ.

    මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයන වලින් සියයට 50 ක් මිලදී ගන්නේ යුරෝපීය සංගමය වන අතර ඒ තුළින් රටට වසරකට ලැබෙන ආදායම ඩොලර් මිලියන 200 කට ආසන්නය.