ලලිත් කොතලාවල රෝද පුටුවෙන් පැමිණ අළුත් ඉල්ලීමක් කරයි -video

    August, 22, 2014

    ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම බංකොලොත්වීම නිසා අමිහිරි අත්දැකීමකට මුහුණ දුන් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපතිවරයා වූ ලලිත් කොතලාවල මහතා කලකට පසුව රෝද පුටුවකින් පැමිණ අද මාධ්‍ය හමුවේ පෙනී සිටියේය.

    වත්මන් ගෝල්ඩන් කී පාලනාධිකාරිය විසින් තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීම සඳහා දේපොළ විකිණීමේදී අක්‍රමිකතා සිදුකරනවා යැයි අද කොළඹදී උද්ඝෝෂණයක් සිදුකළ ලලිත් කොතලාවල මහතාට පක්ෂපාතී ගෝල්ඩන් කී තැන්පතු කරුවන් පිරිසක් අද දහවල් කොතලාවල මහතා හමුවීමට බම්බලපිටියේ පිහිටි ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වීය. මේ අනුව, තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමට ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ වත්මන් පාලනාධිකාරිය සිදුකරන වැඩසටහන පිළිබඳව කොතලාවල මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

    “මේක හරියට සාර්ථක ක්‍රියාවක් වෙන්න ඕන. මේක කරන්න, උසාවියෙන් කරුණාකරල මගේ අත්දෙක ලිහන්න. මට එහාට යන්න අරෙහෙට යන්න බෑ. ගිණුමක් අරින්න බෑ. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සමාගම් වලට මොනවද වෙන්නේ කියල.. මගේ අත්වැල් බැඳගෙන. සුප්‍රීම් කෝර්ට් එකෙන් මගේ අත්වැල් බැඳීම ලිහිල් කරන්න. එතකොට මම හොඳටම ඔය ගොල්ලන්ට සහාය දෙන්න පුළුවන්. ඒක ඉල්ලන්න. ඒක ඉල්ලන්න මාර්කෝ.“

    කොතලාවල මහතාට පක්ෂපාතීත්වයක් දක්වන මෙම තැන්පතු කරුවන් පිරිස අතර සිටි අයෙකු එවිට පැවසුවේ “අදනේ, අපට සර්ගෙන් ඒවගේ ආරාධනයක් හරියටම ලැබෙන්නේ.“ යනුවෙනි.

    අද පැවති උද්ඝෝෂණය පිළිබඳව අප සමග අදහස් දක්වමින් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ නව අධ්‍යක්ෂවරයෙකු වන දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය චෝදනා කළේ ලලිත් කොතලාවල මහතාට පක්ෂපාතී තැන්පතු කරුවන් 34 දෙනෙකු මෙම උද්ඝෝෂණය සිදුකළ බවත් සමාගමේ වත්මන් පාලනාධිකාරිය විසින් තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීම සඳහා ගෙන යන වැඩසටහන අවුල් කිරීම ඔවුන්ගේ අරමුණ බවයි.

    ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ නව පාලනාධිකාරිය විසින් ලලිත් කොතලාවල මහතාගේ දේපොළ විකුණා මේ වනවිට තැන්පතු කරුවන් 6800 කට පමණ තැන්පතු මුදල් වලින් කොටසක් හෝ ගෙවා තිබෙන බව ඇය සඳහන් කළාය.

    ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතු කරුවන් 9100 ක් පමණ සිටින නිසා කොතලාවල මහතාට පක්ෂපාතී මෙම සුළුතරය බහුතර මතය නියෝජනය නොකරන බවයි.
    අග විනිසුරු මොහාන් පීරිස් මහතා ගෝල්ඩන් කී නඩුවේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලෙන් පසුගියදා ඉවත් වූ අතර බංකොලොත් වූ ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කළ දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සහ තවත් තැන්පතු කරුවන් 23 දෙනෙකු විසින් තමන්ගේ තැන්පතු මුදල් ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබෙන්නේ 2009 වසරේ මාර්තු 23 වනදායි.