මත්පැන් ලඟ තබා ගැනීමේ දී උපරිම සීමාවක් බලපැවැත්වෙනවා ද?

    May, 23, 2019

    විදේශීය මත්පැන් ලඟ තබා ගැනීමේ දී, සුරාබදු ආඥා පනත ප්‍රකාරව බලපවත්නා නීතිමය විධිවිධාන සම්බන්ධයෙන් අධිකරණ වෘත්තිකයෙකු විසින් කරනු ලැබූ කරුණු දැක්වීමක් පහතින් දැක්වේ.

    සුරාබඳු ආඥා පනත ප්‍රකාරව විදේශීය මත්පැන් ලගතබා ගැනීම සම්බන්ධයෙන් වන සීමාවන් පවතින්නේද ?

    ඒ යටතේ ඊට අදාලව ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් තීරණය කලයුතුව පවතී. එකී කරුණු වනුයේ,
    (අ) සුරා බඳු ආඥා පනත ප්‍රකාරව ස්වකීය පෞද්ගලික ප්‍රයෝජනය පිණිස විදේශ මත්පැන් සද්භාවයෙන් මිලදී ගෙන ලඟ තබා ගන්නා පුද්ගලයෙකුහට එලෙස විදේශීය මත්පැන් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් සීමාවක් පවතින්නේද,

    (ආ) සද්භාවයෙන් පරිභෝජනය සඳහා ලඟ තබා ගැනීම යන්නෙන් පනත ප්‍රකාරව අඳහස් කරනු ලැබ ඇත්තේ, කුමක්ද යන්න සම්බන්ධයෙනි.

    ඒ යටතේ ඉහත කී කරුණු තීරණය කලයුතු වීමේ වැදගත්කම වනුයේ කිසියම් අවස්ථානුගත තත්ත්වයන් යටතේ කිසියම් පුද්ගලයෙකු වෙත ස්වකීය හිතමිතුරන්, ඥාතීන් ( එම අයවළුන් විසින් පරිභෝජනය පිණිස මිලදී ගත්) මාර්ගයෙන් ත්‍යාග වශයෙන් ලද සහ අවස්ථානුකූලව එකී පුද්ගලයා විසින් පරිභෝජනය පිණිස සුරා බඳු ආඥා පනතේ සීමාවන්ට යටත්ව මිලදී ගෙන ඇති විදේශීය මත්පැන් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ වන සීමා කිරීමක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් ඒ යටතේ තීරණය කලයුතු වන බැවිනි.

    ඒ යටතේ කරුණු සළකා බැලීමේදී 2015.12.31 වන දිනැති අංක 1947/41 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් සුරා බඳු නිවේදන අංක 985 ප්‍රකාරව මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි විදේශීය මත්පැන් සිල්ලරට විකිණිය යුතු උපරිම සීමාව ලීටර් 7.5ක් වන බැවින් ඊට අදාලව සුරා බඳු ආඥා පනතේ 17 වන වගන්තිය එක්ව ගෙන කියවීමේදී බලපත්‍රලාභී නිශ්පාදකයෙකු හෝ වෙළෙන්දෙකු නොවන පුද්ගලයකු හට ඉහත කී විදේශීය මත්පැන් ලීටර් 7.5ක ප්‍රමාණය ඉක්මවා ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ බලපත්‍රයක් මත හැර විදේශීය මත්පැන් ලඟ තබා ගැනීම සිදු කල නොහැක.

    කෙසේ නමුදු සුරාබඳු ආඥා පනතේ 17 වෙනි වගන්තියට ඇති 02 වන අතුරු විධානය ප්‍රකාරව ඕනෑම පුද්ගලයකු විසින් කිසියම් විදේශීය මත්පැන් ප්‍රමාණයක් විකිණීමේ අරමුණින් තොරව සද්භාවයෙන් ස්වකීය පුද්ගලික පරිභෝජනය පිණිස මිලදී ගෙන ඇත්නම් (purchased by any person For his bona fide private Consumption and not for Sale ”) එවන් පුද්ලයෙකු සම්බන්ධයෙන් සුරා බඳු ආඥා පනතේ 17 වෙනි වගන්තිය අදාල වීමක් සිදු නොවන බව එකී අතුරු විධානයෙහි ඉතාමත් පැහැදිලිව සඳහන්ව ඇත.

    ඒ අනුව කරුණු සළකා බැලීමේදී ‘‘ඕනෑම පුද්ගලයෙකු විසින් පුද්ගලික පරිභෝජනය පිණිස සද්භාවයෙන් මිලදීගත් විදේශීය මත්පැන් ” යටතට එම පුද්ගලයා විසින් මිලදී ගත් සහ වෙනත් පුද්ගලයින් විසින් පරිභෝජනය පිණිස මිලදී ගෙන එකී පුද්ගලයා වෙත ත්‍යාග කරලීමෙන් අනතුරුව එකී පුද්ගලයා විසින් එම අයගේ පරිභෝජනය පිණිස ලඟ තබාගත් විදේශීය මත්පැන් අන්තර්ගත වන බවත්, විකිණීම සඳහා එකී විදේශීය මත්පැන් එම පුද්ගලයා විසින් ලඟතබා ගෙන සිටින බවට අන්‍යාකාරයකින් චෝදනා නැගිය නොහැකි සියළු අවස්ථානුගත තත්ත්වයන් යටතේ, එකී පුද්ගලයා සම්බන්ධයෙන්, සුරාබඳු ආඥා පනතේ 17 වන වගන්තිය යටතේ වන සීමාකිරීම ක්‍රියාත්මක නොවන බැවින්, එවන් පුද්ගලයෙකුහට එම අය නිශ්පාදකයෙකු හෝ වෙලෙන්දෙකු නොවුවද විදේශීය මත්පැන් ලීටර් 7.5ක සීමාව ඉක්මවා ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලබා ගත යුතු බලපත්‍රයක් නොමැතිව අදාල විදේශීය මත්පැන් ලඟ තබා ගැනීම සිදු කල හැකි බව මනාව පැහැදිලි වීමේ පදනම මත, සද්භාවයෙන් පරිභෝජනය සඳහා ලඟ තබා ගැනීම යන්නෙන්, විකිණීමේ චේතනාවෙන් තොරව අදාල විදේශීය මත්පැන් ලඟතබා ගැනීම වන බවට වන නෛතික අනුමිතියකට එලඹීමේ හැකියාව පවතී.