මර්චන්ට් බැංකු ඒකාබද්ධයත් තීන්දුයි

    June, 27, 2014

    ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව (MBSL) සමග MBSL ඉතිරි කිරීමේ බැංකුව (MSB) සහ MCSL ෆිනෑන්ෂල් සර්විසස් සමාගම ඒකාබද්ධ කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලවල අනුමැතිය හිමිව තිබෙන බව අනාවරණය වේ.

    මේ පිළිබඳව දැනුම් දෙමින් ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සභාපති, එම්.ආර්. ෂා මහතා පවසන්නේ මෙම ඒකාබද්ධ කිරීමෙන් පසුව ඉතිරි වන්නේ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව (MBSL) යන ආයතනය බවයි.

    සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා විසින් අනුමත කරන දිනයක සිට මෙම ඒකාබද්ධ කිරීම ක්‍රියාත්මක වනු ඇතැයි සඳහන්ය.

    ඒකාබද්ධ කිරීම යටතේ MBSL ඉතිරි කිරීමේ බැංකුවේ (MSB) තිබෙන සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 280.25 කට ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සහ තිබෙන සෑම සාමාන්‍ය ඡන්ද රහිත කොටස් 389.10 කට ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් හිමිවේ.

    මෙයට අමතරව, MCSL ෆිනෑන්ෂල් සර්විසස් සමාගමේ ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2.35 කටම ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් හිමිවන බව සඳහන්ය.