මල්ටි ෆිනෑන්ස් ගොඩගන්න Fairway සූදානම්

    February, 9, 2017

    අර්බුදයට පත්ව ඇති මල්ටි ෆිනෑන්ස් පීඑල්සී මූල්‍ය සමාගම වෙත රුපියල් මිලියන 550 ක ආයෝජනයක් කිරීමට මෙරට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළෙඳ සංවර්ධන සමාගමක් වන Fairway හෝල්ඩිංග්ස් (පුද්) සමාගම තීරණය කර තිබේ.

    මේ අනුව මල්ටි ෆිනෑන්ස් හි කොටස් මිලියන 41.1 ක්, කොටසක් රුපියල් රු. 13.40 බැගින් මිල දී ගැනීමට Fairway හෝල්ඩිංග්ස් විසින් කටයුතු කරනු ලබන අතර ඒ වෙනුවෙන් ආයෝජිත මුදල රුපියල් මිලියන 550.87 කි.

    2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව තුළ දී රුපියල් මිලියන 9.448 ක ශුද්ධ අලාභයක් මල්ටි ෆිනෑන්ස් පීඑල්සී වාර්තා කර ඇති 2016 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් මිලියන 18.4 ක අලාභයක් දක්වා සමාගමේ අලාභය සියයට 1,877 කින් ඉහළ ගොස් තිබේ.

    මල්ටි ෆිනෑන්ස් පීඑල්සී යනු ආන්දෝලනාත්මක එන්ට්‍රස්ට් සමූහයට අයත් සමාගමකි. එන්ට්‍රස්ට් සමූහයේ ප්‍රාථමික වෙළෙඳ සමාගම වන එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි කටයුතු මේ වන විට අත්හිටුවා තිබෙන අතර ඊට එරෙහිව පැවැත්වෙන අපරාධ පරීක්ෂණ හේතුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුටම රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමට සිදුවිය.