මහජන බැංකුව සිය 59 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

    July, 3, 2020

    මහජනතාවගේ බැංකුව, මහජන බැංකුව එළඹෙන ජුලි 01 වැනිදා සිය 59 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි. මෙම සුවිශේෂී මං සළකුණු පසුකරන මහජන බැංකුව, රාජ්‍ය හිමිකාරීත්වය ඇති සියලු රාජ්‍ය බැංකු අතර තම අසමසම බව මොනවට පෙන්නුම් කරමින් තමන්ටම උරුම වූ අනන්‍යතාවයක් ගොඩනගා ගෙන තිබේ. 1961 අංක 29 දරණ මහජන බැංකු පනත යටතේ 1961 වසරේ දී පූර්ණ රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ස්ථාපිත කරන ලදි. එවකට අග්‍රාමාත්‍යවරිය වූ ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ ආශිර්වාදයෙන් එම රජයේ වාණිජ ආහාර සහ සමූපකාර ඇමතිවරයා ලෙස සේවය කළ ටී.බී. ඉලංගරත්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා හිතවාදී මුල්‍ය ආකෘතියකට අනූව ස්ථාපිත කළ මහජන බැංකුව, වින්සන්ට් සුබසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සිය මුල්‍ය සේවාවෙහි සමාරම්භය සනිටුවහන් කළේය. මහජන බැංකුව ආරම්භ කිරීමෙන් පසු ජාති, ආගම්, කුල, දුප්පත් පොහොසත් භේදයකින් තොරව බොහෝ ශ්‍රී ලාංකිකයන් බැංකුව වටා එක්රොක් වූ අතර, ඒ හේතුවෙන් දිවයින පුරා විසිරී තිබුණු සමූපකාර බැංකු ශාඛා මහජන බැංකු ශාඛා බවට පරිවර්තනය කිරීමට සිදුවිය. ක්‍රමයෙන් ඉදිරියට පැමිණි මහජන බැංකුව 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ අවසරලත් වාණිජ බැංකුවක් ලෙස ස්ථාපිත විය. ගනුදෙනුකරුවා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිසන විශාල පරාසයක පැතිරුණු මුල්‍ය සේවා සහ විශේෂ බැංකු පහසුකම් රැසක් හඳුන්වාදීමට ඇපකැප වූ මහජන බැංකුව මහජනතාවගේ බැංකුව ලෙස සැම හදවත් තුළ ගෞරවනීය ස්ථානයක් හිමිකරගෙන තිබේ.

    මේ සුවිශේෂී අවස්ථාවේ සිය අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා,  “වසර 59 පුරා මෙතෙක් අප පැමිණි දිගු ගමනේ දී වාණිජ බැංකු ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු  ලෙස අපේ ස්ථාවරය දිගටම පවත්වා ගැනීමට අපිට හැකියාව ලැබුණා වගේම උසස් සේවා සපයන්නෙකු විදිහට රටේ වාණිජ ක්ෂේත්‍රයේ නියැලෙන්නන් අතර ඉහළ පිළිගැනීමක් ලබාගන්නටත් අපට පුලුවන් වුණා. අපේ බැංකුවෙන් ලබාගන්නා මුල්‍ය ණය හරහා දේශීය ව්‍යවසායකයන් විශාල සංඛ්‍යාවක් තමන්ගේ ව්‍යාපාර සාර්ථකව සහ වේගවත්ව ඉදිරියට රැගෙන ගියා. ඇඟලුම්, ඉදිකිරීම්, කෘෂි කාර්මික, ආනයන සහ අපනයන, දේපළ වෙළඳාම්, ආහාරපාන, සෞඛ්‍ය සේවා, නිෂ්පාදන කර්මාන්ත, බලශක්ති, ධීවර, සංචාරක සහ සන්නිවේදන සේවා ආදී ක්ෂේත්‍රවල වල ඉහළටම ගොස් රටේ නමක් දිනාගත් විශාල ව්‍යවසායකයන් පිරිසක් ඒ අතර සිටිනවා. එක් එක් ව්‍යාවසායකයන්ගේ එකිනෙකට වෙනස් වූ ව්‍යාපාර අරමුණුවලට සරිලන ආකාරයේ විවිධ ව්‍යාපාරික ණය යෝජනා ක්‍රම හඳුන්වාදෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවය සාර්ථකව ඉටුකිරීමට  බැංකුවට හැකියාව තියෙනවා. ඒවගේම, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් වෙනුවෙන් ඉතාම සහනදායී පොලී අනුපාතයන්ට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ණය ලබාදීම වගේම ස්වයං රැකියා නියුත්තිකයන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවන්නට විවිධ අන්දමේ ණය සැලසුම් ක්‍රියාත්මක කිරීමට කැපවීම මහජන බැංකුව මෙතෙක් ලබාගත් සාර්ථකත්වයේ තවත් එක් හේතුවක්.”

    එසේම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා සිය අදහස් මෙසේ දැක්වීය ,“ මහජනතාවට විශිෂ්ට මුල්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් අදාළ සීමා මායිම් සංතෘප්ත කරනවා වගේම අවශ්‍ය වූ විටක තම කාර්යභාරය පුඵල් කරමින් පසුගිය වසර 59 පුරා ශ්‍රී ලාංකික බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ නායකයෙකු ලෙස මහජන බැංකුව කටයුතු කළා. අනපේක්ෂිත කොවිඞ්-19 ව්‍යසනයේ බලපෑම හේතුවෙන් රට ලොක්ඩවුන් තත්ත්වයක තිබීම නිසා මාර්තු මැද සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් අඩපණ වෙමින් පැවතියා. නමුත් ක්‍රමානුකූලව ලොක්ඩවුන් තත්ත්වය ඉවත් කර රට නැවත විවෘත කිරීමත්, පැවති සීමා මායිම් අහෝසි කිරීමත් සමඟ නැවත ආර්ථිකය ගොඩනැංවීම සඳහා ව්‍යාපාරවලට අවශ්‍ය අරමුදල් සැපයීමේ වගකීම සියතට ගත් මහජන බැංකුව අතිශය සහනදායී පොලී අනුපාත යටතේ බැංකු ණය පහසුකම් ව්‍යාපාරිකයන් වෙත ලබාදීමට මූලිකත්වය ගත්තා. මේ හේතු කොටගෙන කුඩා සහ මධ්‍ය පරිමාණ කෘෂි, ධීවර, වෙනත් බෝග වගාවන් සහ පශු සම්පත් ව්‍යවසාය සංවර්ධනය සඳහා අස්වැන්න නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒවගේම බැංකුව විසින් විවිධ ක්ෂේත්‍ර රැසක පැතිරුණු අවශ්‍යතාව සහිත කණ්ඩායම් ගණනාවක් වෙනුවෙන් තනි ඉලක්කමේ පොලි අනුපාතයක් යටතේ ණය ලබාදීමට කටයුතු කරනවා. වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ගණකාධිකාරීවරුන්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්/ මෘදුකාංග ඉංජිනේරුවන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්, පාසල් ගුරුවරුන්, විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මෙන්ම කලාකරුවන් ආදී වූ විවිධ කණ්ඩායම් රැසකට මෙම මුල්‍ය සහන හිමිකම ලබාගන්න පුලුවන්. මීට අමතරව කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පොලිය 6%ක් යටතේ ණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙය මහ බැංකුවේ ‘සෞභාග්‍යා කොවිඩ්-19 ණය පහසුකම යෝජනාවලිය යටතේ ඊට සමගාමීව මහජන බැංකු විසින් හඳුන්වා දුන් ණය යෝජනාවලියක්.”

    තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා “කොවිඩ්-19 නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ අපේ හිතවත් ගනුදෙනුකරුවන් විශාල පිරිසක් විවිධ අපහසුතාවයන් රැසකට මුහුණ දුන්නා සහ ඒවගේ අයට මුල්‍ය සහන හඳුන්වාදීම මඟින් මහ ජනතාවටත් පවතින තත්ත්වයේ අභියෝගයන් පිළිබඳව අවබෝධයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඇඳිරි නීතිය පනවා තිබූ කාල වකවානුවේ දී පවා ශාඛා වැඩි ගණනක් විවෘත කිරීමට මහජන බැංකුවට හැකි වූ අතර මහජනතාවගේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛතාවය ලබාදීමේ වැදගත්කම මෙයින් මොනවට පැහැදිළි විය. සියලු තාක්ෂණික පහසුකම්වලින් සපිරි මහජන බැංකුවේ ජංගම බැංකු ඒකක රටපුරා සංචාරය කරමින් අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය බැංකු සහ මුල්‍ය සේවා තමන්ගේ දොරකඩ අසළදීම ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දුන්නා.’’

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අපේ ගනුදෙනුකරුන්ට මුල්‍ය සේවා සම්බන්ධ කිසිදු අපහසුතාවයක් ඇති නොවීමට මහජන බැංකුව වගබලාගත් අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ ගැසට් පත්‍රයට අදාළ සියලු සහන සිය ගනුදෙනුකරුන්ට ලබාදීමට බැංකුව කටයුතු කළේය.

    මහජන බැංකු ආයතනික බැංකු සේවා අංශය විසින් විවිධ වූ බැංකු සේවා රැසක් ආයතනික ගනුදෙනුකරුන් වෙනුවෙන් ලබාදුන් අතර ගෝලීය වශයෙන් පිළිගත් මුල්‍ය සේවා නියෝජිතයන් සමඟ සමීප සම්බන්ධතායක් පවත්වා ගැනීම හරහා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පවත්වාගැනීමට ආයතන වලට අවශ්‍ය මුල්‍ය සහ උපදේශන සේවා ලබාදීමට බැංකුවට හැකියාව ලැබිණි. විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් යැවීමේ කටයුතු සහ විදෙස් මුදල් ප්‍රේෂණ පහසුකම යටතේ මෙරට සිට විදෙස් රටවලට මුදල් යැවීමේ කටයුතු වල දී මහජන බැංකු විසින් ලබාදෙන සේවාව පිළිබඳව ගනුදෙනුකරුන්ට විශාල විශ්වාසයක් ගොඩනැඟී තිබේ. පීපල්ස් ඊ රෙමිටන්ස්, පීපල්ස් ඉන්ස්ටන්ට් රෙමිට්, ස්විෆ්ට් සහ වෙස්ටරන් යුනියන් ආදී පහසුකම් රැසක් මඟින් සිය සේවා ඉටුකර ගැනීමේ අවස්ථාව ඔවුන්ට ලබාදී තිබේ.

    මහජන බැංකුවේ නවතම දත්තවලට අනුව මිලියන 10කට වැඩි ගනුදෙනුකරුවන් පිරිසකට අවශ්‍ය සියලු මුල්‍ය සේවා සැපයීම සඳහා දිවයින පුරා ශාඛා 737 සුවිසල් ජාලයක් වර්තමානයේ ඔවුන් සතුව තිබේ. ගනුදෙනුකරුවන්ට ඉතා ඉහළ සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් ස්ථාපිත කර ඇති නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත සියලු මහජන බැංකු ශාඛා අද වන විට එකිනෙකට අන්තර් සම්බන්ධිතව සිය සේවා සපයයි. දිවයින පුරා මහජන බැංකු ස්ථාපිත කරන අතරතුර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 755ක්, මුදල් තැන්පතු යන්ත්‍ර 255ක් සහ ගෙවීම් යන්ත්‍ර 220ක් හරහා තම සේවා තවදුරටත් ව්‍යාප්ත කිරීමට මහජන බැංකුව සමත්වී තිබේ. බැංකුවේ දැනට පවතින අන්තර් සබඳතා ජාලය අභිබවා යමින් Lanka Pay network එක සමඟ ඇති කරගත් සහයෝගීතාවය මඟින්  රටපුරා විසිරුණු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATMs) 4000ක් හරහා අවශ්‍ය සේවා සිදුකරගැනීමේ  පහසුව සිය පාරිභෝගිකයන්ට ලබාදීමට බැංකුව කටයුතු කර තිබේ. එමෙන්ම රටපුරා සංචාරය කරමින් ගනුදෙනුකාර මුල්‍ය අවශ්‍යතාවයන් ඉටුකිරීම උදෙසා මාර්ගගත පරිගණක සහ ටෙලර් යන්ත්‍රවලින් සමන්විත ජංගම බැංකු ඒකකයක් හඳුන්වාදීමට මහජන බැංකුව කටයුතු කර තිබේ. බැංකු ක්ෂේත්‍රයේ විවිධ අංශවල ඉහළ අත්දැකීම් බහුල අදාළ වෘත්තියේ විශේෂඥතාව සහිත පාරිභෝගික සේවාවට ඇපකැප වුණු 8000ක සේවක සම්පතක් බැංකුව සතුවේ. ඔවුන්ගේ අසමසම කැපවීම සහ විශේෂඥතා දැනුම බැංකුව මෙතෙක් ලබාගත් සාර්ථකත්වයේ සහ ඉදිරියට ගෙනයන බලවේගයේ මූලික පදනමයි. ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු ජාතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් සැමට ඉදිරියෙන් පියවර තබන මහජන බැංකුව ඉතිරි කිරීමේ පුරුද්ද වැඩිදියුණු කරන ගමන් ආරක්ෂාකාරීව සහ පහසුවෙන් පාසල් දරුවන්ට සිය බැංකු කටයුතු කරගැනීමේ පහසුකම් සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් තැන්පතු යන්ත්‍රය සහිත පාසල් බැංකු ඒකකය 2018 වසරේ ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදි  විවෘත කරන ලද අතරල අනතුරුව දිවයිනේ පාසල් කිහිපයකම ස්ථාපිත කරන්නට යෙදිණි.

    මහජන බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන්ට හඳුන්වාදුන් විවිධ වූ බැංකු සේවා අතර ගනුදෙනුකරුවන්ගේ ආදරය, ගෞරවය සහ විශ්වාසය දිනාගත් සුවිශේෂී සේවාව වන්නේ බැංකුව සතු  ඉතිරි කිරීමේ ගිණුම් පෙළයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ සිට කුඩා දරුවා දක්වා විවිධ වයස් කාණ්ඩ වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම ඉතිරි කිරීමේ ගිණුම් හිමි විශාල පිරි අද රටේ සිටී. මෙම ඉතිරි කිරීමේ ගිණුම්වලින් ආකර්ෂණීය පොලියක්, උපරිම ප්‍රතිලාභයක් සහ රාජ්‍ය බැංකුවක ආරක්ෂාවක් ගනුදෙනුකරුවන්ට ලැබේ. මේ නිසා ඉසුරු උදාන, සිසු උදාන, යර්ස්, වනිතා වාසනා, පරිණත, ජනජය, ආයෝජන ඉතුරුම් ගිණුම් සහ අස්වැන්න ඉතුරුම් ගිණුම මෙන්ම ආයෝජන ගිණුම් සඳහා ද විශාල ආකර්ෂණයක් හිමිවී තිබේ. එසේම මහජන බැංකුවේ ජංගම ගිණුම ද ගනුදෙනුකරුවන් අතර විශාල ප්‍රසාදයක් හිමිකරගෙන ඇති ගිණුමකි.

    මීට අමතරව, පාරිභෝගිකයන් තමන්ගේ මුදල් මහජන බැංකුව විසින් හඳුන්වා දී ඇති ස්ථාවර තැන්පතු ගිණුම්වල ආයෝජනය කරමින් තමන්ගේ ඉතුරුම් වර්ධනය කරගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. විශාල පොළී අනුපාතයක් ලබාදෙනවා වගේම රාජ්‍ය බැංකුවක ඇති ආරක්ෂාව ලබාදීම නිසා මහජන බැංකුවේ ස්ථාවර තැන්පතු ගිණුම්වල ඉතුරු කිරීමේ දී ඉහළ විශ්වාසයකින් කටයුතු කිරීමට පාරිභෝගිකයන් පෙළඹී සිටී.

    රාජ්‍ය බැංකුවක් විසින් ලබාදෙන ආරක්ෂාව සහ විශ්වාසය සහිතව මහජන බැංකුව විසින් පවත්වාගෙන යන තවත් සුවිශේෂී සේවාවක් වන්නේ රන් භාණ්ඩ උකස් කිරීමේ සේවාවයි. මෙහිදී ගනුදෙනුකරුවන්ට වෙළඳපොලේ තිබෙන අඩුම පොලියට හොඳම අත්තිකාරම් මුදලක් ලබාගැනීමේ අවස්ථාව උදාවන අතර වාරික වශයෙන් ගෙවීම මඟින් තමන්ගේ රන් භාණ්ඩ බේරා ගැනීමේ අවකාශය ද පාරිභෝගිකයා වෙත ලබාදීමට මහජන බැංකුව කටයුතු කරයි.

    සෑම අවස්ථාවක දීම ගනුදෙනුකරුවන්ට නවීන තාක්ෂණයේ බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ නව මුල්‍ය ප්‍රවණතාවල හැකියාවන් හඳුන්වාදෙමින් උසස් ගනුදෙනුකාර අත්දැකීමක් ඔවුන් වෙතට සමීප කිරීම මහජන බැංකුවේ අරමුණයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනයට අවශ්‍ය බැංකු සේවා ඩිජිටල්කරණයේ පුරෝගාමියා ලෙස ඉදිරියෙන්ම සිටීමට මහජන බැංකුව සමත්වී ඇත. මහජන බැංකුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලියේ දී මුල්‍ය සේවා ලබාදීම සඳහා ලෝකයේ දැනට භාවිතා කරන නවීනතම තාක්ෂණික භාවිතාවන් උපයෝගීකර ගැනීමට ඔවුන් කටයුතු කළ අතර එවැනි සුවිශේෂී තාක්ෂණික භාවිතාවක් සමස්ත ශ්‍රී ලංකාවටම හඳුන්වාදුන් පළමු බැංකුව ලෙස බැංකු ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටීමට මහජන බැංකුව සමත්වී ඇත. වර්තමානයේ දී බොහෝ බැංකු කටයුතු ඩිජිටල් යුගයට අනුවර්තනය වී තිබෙන අතර, එම පරිවර්තනීය චාරිකාවේ දී තාක්ෂණයේ පෙරමුණගත් නායකයා ලෙස සුවිශේෂී මඟ සලකුණුක් සනිටුහන් කිරීමට මහජන බැංකුව සමත්වී තිබේ. ඩිජිටල් බැංකුකරණයේ පහසුකම් ලබාදෙමින් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව මුල්‍ය සේවා ලබාදීම සහ සුවපහසුව, උසස් තත්ත්වය සහ විශ්වාසය ආදී ගුණාංගයන්ගෙන් සමන්විත ගුණාත්මකබවෙන් ඉහළ ගනුදෙනුකරුවා කේන්ද්‍ර කොටගත් විශිෂ්ට බැංකුකරණ සේවාවක් ලබාදීම හරහා ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින අනාගතවාදී බැංකුව බවට පත්වීම මහජන බැංකුවේ අරමුණයි.

    “People's Wave” මොබයිල් බෑන්කින් ඇප් එක සහ “People's Web” ඉන්ටර්නෙට් බෑන්කින්  පහසුකම හරහා ගනුදෙනුකරුවාට නව ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබාදීමට මහජන බැංකුව අවකාශ විවිර කොට තිබේ. මෙම සේවාව තුළින් බැංකු ශාඛාවට නොගොස් නිවසේ සිටම බැංකු කටයුතු සිදුකිරිමේ පහසුකම සලසා ඇත.

    ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ විවිධ සම්මාන රැසක් දිනාගත් රටේ සුවිසල් බැංකුවක් ලෙස මහජන බැංකුව හැඳින්විය හැක. ඔවුන් ලබාගත් එකිනෙකට වෙනස් වූ සෑම සම්මානයකින්ම රටේ ජනතාවගේ මුල්‍ය අවශ්‍යතාවය සපුරාලමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ගුණාත්මකව ඉහළ නැංවීමට ආයතනයක් ලෙස මහජන බැංකුවේ දායකත්වය මොනවට පැහැදිලි වේ. මහජන බැංකුව විසින් Fitch Ratings Lanka මඟින් AA+(lka) ශ්‍රේණිය සහ Brand Finance Lanka මඟින් AAA- ශ්‍රේණිය ද  ලබාගෙන තිබේ. Brand Finance Lanka මඟින් පවත්වන්නට යෙදුණු 17 වැනි වාර්ෂික වාර්තා  එළිදැක්වීමේ දී බිලියන 46.1ක අගයක් වාර්තාකරමින් 1.4%ක සන්නාම වර්ධනයක් සමඟ සන්නාමය අගය ඉහළින් ඇති ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම අතර තෙවැනි ස්ථානය දිනා ගැනීමට මහජන බැංකුව සමත්විය. මහජන බැංකුව දිගින් දිගටම සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සම්මාන ඇගයීම් වේදිකාවල ද සිය ජයග්‍රහණ වාර්තාකර ගැනීමට සමත්වූ අතර European Global Banking and Finance Awards සහ World Finance Banking Awards මෙන්ම Asian Banker Magazine වර්ගීකරණයේදී ආසියාවේ විශාලතම බැංකු අතර 400 වැනි ස්ථානය දිනාගැනීමටත්, Banker Magazine (UK) සඟරාවට අනුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට එක්වී ඇති අති  විශිෂ්ටත්වයෙන් පිරිපුන් බැංකුවකි. එසේම වාර්ෂික SLIM-Nielsen People's Awards සම්මාන  උළෙලේ දී මහජන බැංකුව විසින් "People’s Banking Service Provider of the Year" සම්මානය නොකඩවා 14 වැනි වතාවටත් දිනාගැනීමට සමත්වී තිබේ. මීට අමතරව මෑතක දී පැවැති ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී බැංකු ක්ෂේත්‍රයේ ජයග්‍රහකයා ලෙස සම්මාන දිනාගැනීමට ද මහජන බැංකුව සමත්විය.

    මහජන බැංකුවට අනුබද්ධිත සහ එහි හවුල්කාර ආයතන ගණනාවක් තිබේ. පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් පී.එල්.සී, පීපල්ස් මර්චන්ට් බෑන්ක් ලිමිටඩ්, පීපල්ස් ට්‍රැවල්ස් ලිමිටඞ් සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී යන ආයතන එයට අයත් වේ. මෙම ආයතනය ද මහජන බැංකුව මෙන් සිය පාරිභෝගිකයාගේ ජීවන තත්ත්වය ගුණාත්මකව ඉහළ නැංවීමට අවශ්‍ය මුල්‍ය සේවා සහය ලබාදීම වෙනුවෙන් කැපවී සේවය කරන ආයතන වේ.

    දැනට බැංකුවේ සභාපති ධූරය දරණ සුජීව රාජපක්ෂ මහතා පරිපාලන මුලධර්ම, මුල්‍ය විනය සහ ආචාර ධර්මයන්ට අදාළ රාජ්‍ය රෙගුලාසි, සියලු ගණකාධිකරණ සහ විගණක ප්‍රමිතීන් සහ පිළිවෙත් පිළිබඳව මනා අවබෝධය ඇති ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාධීකාරීවරයෙකු වන අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්ගේ මුල්‍ය විධායක කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් සහිත කෘතහස්ත පරිපාලකයෙකු වේ. විවිධ ක්ෂේත්‍රවල විශේෂඥතාවය සපිරි උසස් වෘත්තීයවේදීන් පිරිසක් වූ මලිදු රණසිංහ, සුදර්ශන අහංගම, මංජුල වෙල්ලාලගේ, කුමාර් ගුණවර්ධන, කීර්ති ගුණතිලක, ඉසුරු බාලපටබැඳි සහ කේ. ඒ. විමලේන්ද්‍රිරාජා යන මහත්වරුන්ගෙන් සුසැඳි පිරිසක් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

     

    ඡායා-

    1. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා
    2. මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා