මහතීර්ගේ පවුලේ සමාගමකින් බේරුවල මුහුදේ දැවැන්ත ව්‍යාපෘතියක්

    March, 24, 2014

    මැලේසියානු හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතාගේ පවුලට සම්බන්ධ සමාගමක් විසින් බේරුවල වරායේ කොටසක සංචාරකයින් රැගත් යාත්‍රා සඳහා පහසුකම් සැපයීමට හෝටලයක් ඇතුළු පහසුකම් සහිත චාරිකා යාත්‍රා අංගනයක් (marina) ඉදිකිරීමට සූදානම් වනබව අනාවරණය වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙම ආයෝජන යෝජනාව මේ වනවිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යොමුකර තිබෙන බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණු පසුව ඉදිකිරිම් ආරම්භ කරන බවයි.

    මෙම චාරිකා යාත්‍රා අංගනය (marina) ජාත්‍යන්තර චාරිකා යාත්‍රා මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙන අතර මහතීර් මොහොමඩ් මහතාගේ පවුලට සම්බන්ධ මෙම සමාගම මැලේසියාව තුළ චාරිකා යාත්‍රා අංගන (marina) ඉදිකර තිබෙන සමාගමකි.

    මෙම චාරිකා යාත්‍රා අංගනය හෝටලයක් ඇතුළු පහසුකම් සහිතව ගොඩ නැගීමට සැලසුම් කර තිබේ.

    දකුණු මුහුදු තීරය පසුකරමින් විදෙස් චාරිකා යාත්‍රා රැසක් දිනපතා ගමන් කරන බවත් ඒවාට ඉන්ධන සැපයීම යාත්‍රා නැවතීමේ පහසුකම් ලබාදීම වැනි සේවා සම්පාදනයට තවමත් ලංකාව යොමුවී නොමැති බවත් සී-නෝර් පදනමේ හිටපු සභාපති රොහාන් ජයසිංහ මහතා පසුගියදා කොළඹදී පැවසීය.