මහපොළ ආයෝජන හැසිර වූ නැෂනල් වෙල්ත් කෝපරේෂන් හා නැෂනල් වෙල්ත් සිකියුරිටීස් සමාගම් ඈවර කරන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුවක්

    August, 29, 2018

    මහපොළ ප්‍රධාන අරමුදල ශක්තිමත් කිරීම සඳහා එහි අරමුදල් ආයෝජනය කිරීම මහපොළ අරමුදලේ පූර්ණ හිමිකාරිත්වය යටතේ පිහිටුවා ඇති නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් සමාගම සහ නැෂනල් වෙල්ත් සිකියුරිටීස් සමාගම මඟින් සිදු කරනු ලැබ තිබේ.

     

    එහෙත් එම සමාගම්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් මහපොළ අරමුදලට අවාසිදායක තත්ත්වයන් මතුව ඇති නිසාත් මහපොළ අරමුදල සතු ආයෝජනයන් වඩාත් විධිමත් කිරීම සඳහාත් ඉහත සමාගම් දෙක ඈවර කර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු සියලුම අරමුදල් රජයේ බැංකු හා මහ බැංකු බැඳුම්කරවල පමණක් ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වරප්‍රසාද නොලත් යෞවනයන්ට උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීම හා ඒ සඳහා පහසුකම් සැපයීම හා වැඩිදියුණු කිරීම මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ පරමාර්ථය වේ.

     

    මේ අතර රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා මූල්‍යාධාර සපයනු ලබන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය නියාමනය කරනු ලබන 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ නාමය 1981 අංක 66 දරන ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත ලෙස සංශෝධනය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.