මහල් නිවාසවලට වැට් අදාළ වෙන්නේ මෙහෙමයි

    October, 24, 2019

    සහාධිපත්‍ය  නිවාස ඒකක (condominium housing units) සැපයීම මත එකතු කළ අගය මත බදු අයකෙරන ආකාරය, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතෙහි මෙසේ දක්වා ඇත.

    සහාධිපත්‍ය නිවාස සැපයීම මත පනවා ඇති එකතු කළ අගය මත බදු පහත සඳහන් අවස්ථාවලදී අය නොකෙරේ.

    1. සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියේ එක් එක් නිවාස ඒකකයක මිල රු. මිලියන 25 නොඉක්මවන විට
    2. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත බලාත්මක දිනට පෙර දිනයක එකී සැපයුමට අදාලව නොතාරිස් ආඥා පනත අනුව විකිණීමේ ගිවිසුමක් ලියා අත්සන් කර ඇති විට, හෝ
    3. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත බලාත්මක දිනට පෙර සම්පූර්ණ කරන ලද සහ අදාල පළාත් පාලන ආයතනයෙන් අනුකූලතා සහතිකයක් ලබා ගෙන ඇති යම් සහාධිපත්‍ය නිවාස ඒකකයක් සැපයීම.

    මීට අමතරව පහත සඳහන් සංශෝධන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පතෙහි කමිටු අවස්ථවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    1. සහාධිපත්‍ය නිවාස ඒකක සැපයීම මත අදාල වන වැට් බදු අනුපාතය 6% දක්වා අඩු කෙරෙන අතර, එකී සැපයුමට අදාල යෙදවුම් බද්ද, 5% අනුපාතයට ගනනය කෙරේ.
    2. ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවන් විසින් ඔවුන්ගේ පිටරට ව්‍යාපෘති වලට භාණ්ඩ සැපයීම එකතු කළ අගය මත බදු කාර්යය සඳහා අපනයන ලෙස සලකනු ලැබේ.