මහාපරිමාණ ආයෝජක සෙන්දිල්වේල්ගේ ගනුදෙනුවලින් කොටස් වෙළෙඳපොළ පිබිදෙයි

    June, 17, 2019

    මෙරට ලැයිස්තුගත සමාගම් ගණනාවකම ප්‍රමුඛ පෙළේ කොටස්කරුවකු වන ආචාර්ය ටී. සෙන්දිල්වේල් මහතා, තම තමින් සිදුකර ඇති ආයෝජන, තමාගේ නමින් සංස්ථාපනය කරන ලද පුද්ගලික සමාගමක ගිණුමක් වෙත හුවමාරු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ අනුව මෙතෙක් Dr. T. Senthilverl නමින් ඔහු විසින් සිදුකර ඇති ආයෝජන Senthilverl Holdings (Pvt) Ltd නම් ගිණුමකට හුවමාරු වීම පසුගිය සතියේ සිට ආරම්භ විය.

    පෑන්ඒෂියන් පවර් සමාගම අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් කියා සිටින්නේ පසුගිය සිකුරාදා දින Dr. T. Senthilverl නමින් සෙලාන් බැංකුවේ ආන්තික ගිණුමක තිබූ තම සමාගමේ කොටස් මිලියන 100 ක්, Senthilverl Holdings (Pvt) Ltd නමින් සෙලාන් බැංකුවේම තිබෙන ආන්තික ගිණුමකට හුවමාරු කරනු ලැබ ඇති බවයි. මෙම කොටස් හුවමාරුව, එක් කොටසක් රු. 3.00 බැගින් සිදුකෙරිණි.

    මේ අතර අද දිනයේ දී PRINTCARE PLC, C.W. MACKIE PLC, ASIA ASSET FINANCE PLC, SANASA DEVELOPMENT BANK PLC, C T LAND DEVELOPMENT PLC, LAXAPANA BATTERIES PLC යන ලැයිස්තුගත සමාගම්වල තමන් සතු කොටස් හිමිකාරීත්වයන් ද මෙලෙස හුවමාරු වී ඇති බව කොටස් වෙළෙඳපොළ දෛනික දත්ත අනුව නිරීක්ෂණය කළ හැකි වේ. මෙකී ගනුදෙනු හේතුවෙන් මෙතෙක් කලක් ඉතා දියාරු මට්ටමක පැවති කොළඹ කොටස් වෙළෙඳපොළට නව ජීවයක් ලැබී ඇති අතර අද මධ්‍යහ්නය වන විට රුපියල් බිලියන දෙකක් ඉක්මවූ පිරිවැටුමක් කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබණි.