මහින්ද්‍රා ලංකාව වෙනුවෙන් KUV100 හදයි

    January, 31, 2016

    මහින්ද්‍රා සමාගමේ නවතම මෝටර් රථයක් වන KUV100 ඒකක 80,000-90,000 ක් පමණ වාර්ෂිකව අපනයනය කිරීම සඳහා බලාපොරොත්තු වන බව සමාගම කියා සිටී. මෙම වසරේ අප්‍රේල් 01 වැනි දින සිට මෙම අපනයනය කිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර පළමුව නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව යන රටවල් ඔවුන්ගේ අපනයන ගමනාන්ත ලෙසින් මෙහිදී හඳුනාගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද්‍රා සමාගමේ උප සභාපති (විකුණුම්), ජයෝටි මල්හෝත්‍රා මෙසේ කියා සිටියේය. “අපගේ විභව අපනයන වෙළෙඳපොළවල් ලෙසින් නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අප හඳුනාගෙන තිබෙනවා. ඇතිවන ඉල්ලුම අනුව අප විසින් සිදුකරන අපනයන ඒකක ප්‍රමාණය තීරණය කරනු ලබනවා.“

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මල්හෝත්‍රා මහතා කියා සිටියේ KUV100 නිෂ්පාදනය වෙනුවෙන් ඉන්දියානු කෝටි 1,200 ක මුදලක් පර්යේෂණ හා සංවර්ධන කටයුතු ලෙසින් ආයෝජනය කළ බවයි.

    පෙට්‍රල් හා ඩීසල් යන මාදිලි දෙකෙන්ම එළි දකින මෙම රථය පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 18.15 කද, ඩීසල් ලීටරයකට කිලෝමීටර 25.32 කද සාමාන්‍ය ධාවනයක් ලබා දීමට සමත්වන බව සමාගම ප්‍රකාශ කර සිටී.