මහින්ද්‍රා KUV 100 එකලස් කිරීම ශ්‍රී ලංකාවට

    March, 9, 2017

    ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් නුදුරේදීම ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. මහින්ද්‍රා මෝටර් රථ ඇතුළු නිෂ්පාදිත මෙරට බලයලත් අලෙවි ආයතනය වන අයිඩියල් මෝටර්ස් හි සභාපති නලින් වෙල්ගම විසින් දේශීය පුවත්පතක් වෙත මේ බව අනාවරණය කර තිබේ.

    මෙහිදී වැඩිදුරටත් වෙල්ගම මහතා විසින් කියා සිටින්නේ කොළඹට ආසන්න හොරණ වැනි නගරයක මෙම කර්මාන්ත ශාලාව ඇරඹීම සඳහා අක්කර දෙකක පමණ භූමි භාගයක් වෙන් කර ගැනීමට මේ වන විට මුදල් අමාත්‍යාංශය සහ ආයෝජන මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

    තවද මහින්ද්‍රා සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මහින්ද්‍රා මේ සම්බන්ධයෙන් ඉහළ උනන්දුවක් දක්වන බවත් දකුණු ආසියාවේ සිය නිෂ්පාදිත බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කරලීම ඔහුගේ ඉලක්කය බවත් වෙල්ගම මහතා මෙහිදී සඳහන් කර ඇත.

    ආරම්භයේ දී KUV 100 වාහන මෙහිදී එකලස් කිරීමට සැලසුම් කර තිබෙන අතර මුල් වරට මෝටර් රථයක් මිල දී ගන්නන් වෙනුවෙන් දැරිය හැකි මිලකට මෙම වාහන පිරිනැමීමට අදහස් කර තිබේ.