මහින්ද රාජපක්ෂගේ වත්කම් පිළිබඳ පරීක්ෂණ වලට සහාය දීමට සූදානම් -සීෂෙල්ස්

    January, 23, 2015

    ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ඉදිරිපත් කරන සියළුම විධිමත් ඉල්ලීම් වලට සහයෝගය දැක්වීමට සූදානම් බව සීෂෙල්ස් රාජ්‍ය පවසා ඇතැයි වාර්තා වේ.

    සීෂෙල්ස් විදේශ අමාත්‍යංශය විසින් ඊයේ නිකුත් කර තිබෙන නිවේදනයකින් මේ බව සඳහන් කර තිබෙන අතර සීෂෙල්ස් රාජ්‍යය සමග මහින්ද රාජපක්ෂ මහතා තිබූ සම්බන්ධතාවය මත එරට වත්කම් සඟවා ඇතැයි වත්මන් රජය විසින් එල්ල කරන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් මේ බව සඳහන් කර ඇත.

    සොරකම් කරන වත්කම් සැඟවීම සඳහා සීෂෙල්ස් රාජ්‍යය කදිම ස්ථානයක් යැයි වත්මන් රජයේ ඇතැම් අය නගන චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් සීෂෙල්ස් විදේශ අමාත්‍ය ජීන් පොල් ඇඩම් සඳහන් කර තිබේ.

    ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලාංකිකයින් විසින් සීෂෙල්ස් රාජ්‍යයේ කර තිබෙන සියළුම ආයෝජන දෙරට අතර අත්සන් කර තිබෙන ද්විත්ව බදු වැලැක්වීමේ ගිවිසුමට අනුව හෙළිකල හැකි බවයි.

    පසුගිය රජය විසින් සීෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කර තිබෙන අතර ශ්‍රී ලංකන් හා මිහින් ලංකා දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කළේය. මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේදී සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරය කළ අතර එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්ද විවෘත කරන ලදී.

    එරට විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබෙන්නේ දෙරට අතර ගොඩනැගුණු මෙම සබඳතාවයන් ඉතාමත් වැදගත් ඒවා බවයි.