මහේන්ද්‍රන් ද, හර්ජාන් ද?

    June, 16, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් සිය නම වෙනස් කරගෙන ඇති බව නීතිපතිවරයා අද (16) දින අධිකරණය වෙත දන්වා සිටියේය. මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති , අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර් “ යනුවෙන් වෙනස් කර ගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලීසිය මඟින් වාර්තා කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ බව අනාවරණය කරන ලදී.

    මෙම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (16) පෙරවරුවේ කැඳවනු ලැබීය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආලින්දයේ එල්ලා ඇති ඡායාරූප ත්‍රිත්වයක් ඉහතින් දැක්වේ. අවසන් වරට මහ බැංකු අධිපති ධුරය දැරූවන් තිදෙනාගේ ඡායාරූප එහි වන අතර වමේ සිට අජිත් නිඩාඩ් කබ්රාල්, අර්ජුන මහේන්ද්‍රන් හා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන හිටපු මහ බැංකු අධිපතිවරුන්ගේ ඡායාරූප එහි වේ.

    කෙසේ වෙතත් මැද ඡායාරූපය යටින් සඳහන් නම, අර්ජුන මහේන්ද්‍රන් ලෙසම පවතී ද, නැතහොත් “හර්ජාන් ඇලෙක්සැන්ඩර්“  යනුවෙන් වෙනස් වේද යන්න අපට ඉදිරියේ දී දැක බලා ගත හැකිවනු ඇත.