November, 25, 2019
සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු තමන් වෙත ලැබී ඇති බවත් මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී නිරීක්ෂණය වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.
මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ බැංකු ගිණුම් අංක සහ ඔවුනගේ බැංකු පුද්ගලික හැඳුනුම් අංක (PIN) වැනි රහස්‍ය තොරතුරු තමන්ට ලබාගැනීම සඳහා මහජනයා පොළඹවයි. එමගින් වංචාකරුවන් පාරිභෝගික ගිණුම් වෙත පිවිස ඒවායේ ඇති මුදල් සොරකම් කිරීමට එවැනි තොරතුරු භාවිතා කරනු ලබයි.
ගිණුම්හිමියන්ගේ රහස්‍ය තොරතුරු වශයෙන් ගිණුමෙහි සහ ගිණුම් හිමියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට භාවිතා කළ හැකි තොරතුරු ලෙස හැඳින්විය හැකිය.
මෙවැනි වංචාවක් සිදු වූ විට ක්ෂණිකව එය පාරිභෝගිකයාට දැනගැනීම සඳහා තම බැංකු හෝ මූල්‍ය සමාගම් වැනි බැංකු නොවන මූල්‍ය ආයතන වලින් කෙටි පණිවිඩ වැනි එසැනින් දැනුම්දීමේ සේවා සක්‍රීය කරගන්නා ලෙස ජනතාවට දන්වනු ලැබේ.
ගිණුම් හිමිකරුවන් මෙවැනි වංචා පිළිබඳ සැමවිටම අවධානයෙන් සිටිය යුතු බවත්, තමන්ගේ රහස්‍ය තොරුතුරු විශේෂයෙන්ම ගිණුම් පරිශීලක නාම, මුරපද, පෞද්ගලික හැඳුනුම් අංක (PINs), එක්වරක් පමණක් භාවිතාවන මුරපද (OTP), හෝ ගිණුම්වලට පිවිසීමේදී ගිණුම් හිමියාගේ අනන්‍යාතාවය තහවුරු කිරීම සඳහා භාවිතා කළ හැකි වෙනත් ඕනෑම රහස්‍ය තොරතුරක් අනෙකුත් පුද්ගලයින් සමග හුවාමාරු කර නොගැනීමට පියවර ගත යුතු බවත් මහ බැංකුව තරයේ අවවාද කරයි. ගනුදෙනුකරුවන් ඕනෑම මූල්‍ය සේවාවක් ලබා ගැනීමට පෙර එහි ඇති කොන්දේසි හොඳින් කියවා බැලීම කල යුතු වේ.
තවද, ගිණුම් හිමියන්ට තම ජංගම හෝ ඉතුරුම් ගිණුම් වෙත ප්‍රවේශ වීමට භාවිතා කරන තම අනන්‍යතාවය සම්බන්ධ රහස්‍ය තොරතුරු දැනුම් දෙන ලෙස පහසු ණය යෝජනා ක්‍රම වැනි වෙනත් පාර්ශවයන්ගේ ලැබෙන ඉල්ලීම් හෝ තමන් විසින් සිදු නොකළ සැක සහිත ගනුදෙනු සඳහා කෙටි පණිවිඩ හෝ විද්‍යුත් තැපැල් දැනුම්දීම් හෝ දුරකථන ඇමතුම් ලැබුණහොත් ඒ පිළිබඳව නොපමාව නිසි ක්‍රියාමාර්ග ගෙන තම බැංකුවට හෝ තමන්ගේ ගිණුම් පවත්වාගෙන යනු ලබන ඇති අනෙකුත් මූල්‍ය ආයතනවලට දැනුම් දෙන මෙන් මෙමගින් මහජනතාව දැනුවත් කරනු ලැබේ.
Video Story