මහ බැංකුව ණය පොළී අනුපාත තවදුරටත් පහළ දමයි

    July, 19, 2019

    මූල්‍ය අංශය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය කඩිනම් කිරීමේ අපේක්ෂාව පෙරදැරිව,  2019 අප්‍රේල් 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් තැන්පතු සඳහා ලබා දෙනු ලබන පොලී අනුපාත පහත දමන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉල්ලීමක් කරන ලදී. එමගින් බලපත්‍රලාභී බැංකු විසින් විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට හා පොදුවේ ණය ලබා දීමේදී අය කරන පොලී අනුපාත පහත හෙලනු ඇතැයිද මූර්ත ආර්ථිකය වෙත ණය ප්‍රවාහ ඉහළ නැංවීමට හැකිවෙතැයි ද අපේක්ෂා කෙරිණි.

    ඒ අනුව  බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ඉතිරි කිරීමේ සහ මාස 3 ට අඩු අනෙකුත් තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාත නිත්‍ය  තැන්පතු පහසුකම් අනුපාතය ( SDFR) මත පදනම් වන අතර එයට වඩා වැඩි කාලසීමාවකින් යුතු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාත දින 364 භාණ්ඩාගාර බිල්පත් අනුපාතය මත පදනම් වේ.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) පහල දැමීම මඟින් ද ශ්‍රී ලංකා මහා බැංකුව දේශීය මුදල් වෙළඳපොලට සැලකිය යුතු රුපියල් ද්‍රවශීලතාවයක් සැපයූ අතර එයට අමතරව 2019 මැයි 31 වන දින සිට සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ද පදනම් අංක 50 කින් අඩුකළේය. එහි බලපෑම, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය හා බැඳුණු ඉතුරුම් තැන්පතු පොලී අනුපාතයන්ගේ පහල යාම මඟින් සෘජුව පිලිබිඹු වේ.

    2019 ජුලි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2019 වසරේ තුන් වන කාර්තුව සඳහා බැංකු සහ බැංකු නොවන මූල්‍ය  ආයතනයන්ගේ තැන්පතු සඳහා බලපැවැත්වෙන පදනම් පොලී අනුපාත (reference rates) තවදුරටත් සංශෝධනය කරන ලදී. එමෙන්ම ඉතුරුම් හා ස්ථාවර තැන්පතු සඳහා ලබා දිය හැකි උපරිම ණය අනුපාත පිලිවෙලින් පදනම් අංක (basis points) 50 කින් සහ 171 කින් තවදුරටත් පහත දමනු ලැබූ නිසා බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනයන්ගේ අරමුදල් පිරිවැය අඩුවෙනු ඇත. 2019 අප්‍රේල් 26 වන විට 12.24% ක් ලෙස පැවති බරිත සාමාන්‍ය ප්‍රමුඛ  ණය පොලී අනුපාතිකය 2019 ජූලි 12 වන විට 10.97% ක් දක්වා අඩුවී ඇත.

    මේ අනුව‍, බැංකු හා බැංකු නොවන මූල්‍ය  ආයතනයන්ගේ ණය පොලී අනුපාත තවදුරටත් නුදුරු අනාගතයේදීම අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන අතර විශේෂයෙන් සුළු හා මධ්‍ය  පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු ණය ගැනුම්කරුවන් හට අඩු පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතිකයන්ගේ හැසිරීම සමීපව නිරීක්ෂණය කරන අතර මනා ලෙස පාලනය කර ඇති උද්ධමන පීඩනය සැලකිල්ලට ගනිමින් ආර්ථික වර්ධනයට රුකුලක් වන පරිදි සුදුසු අමතර ක්‍රියාමාර්ග ගැනීමට ද අනාගතයේ දී කටයුතු කරනු ඇත.