මහ බැංකුව පොළී අනුපාතික ඉහළ දමයි

    November, 14, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 නොවැම්බර් මස 13 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල වෙනසක් සිදුකරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) පදනම් අංක 75කින් 8.00% දක්වා ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් 9.00% ක් දක්වා ද ඉහළ දැමීමට ඊයේ (13) පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

    මේ අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 6.00% ක් දක්වා පදනම් අංක 150 කින් විශාල වශයෙන් පහළ දමා තිබේ.

    මහ බැංකුව විසින් ගනු ලැබූ මෙම තීරණය ‘‘සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්““ ලෙසින් හැඳින්වේ.

    මහ බැංකුවක් සාමාන්‍යයෙන් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී තමන් විසින් බැංකු සමඟ කරනු ලබන මූල්‍ය/ණය ගනුදෙනුවලට අදාළ පොළී අනුපාතියන් වෙනස් කිරීම කරනු ලබන අතර ‘ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්‘ අනුගමනය කරනු ලබන අවස්ථාවක දී පොළී අනුපාත අඩු කිරීමත්, ‘සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක‘ දී පොළී අනුපාත වැඩි කිරීමත් සිදුකෙරේ.

    ප්‍රතිපත්ති පොළී අනුපාත වෙනද් කරන  විට ඊට අනුකූල දිශාවට වෙළෙඳපොළේ පොළී අනුපාතයන් ද වෙනස්වනු ඇත. පොළී අනුපාත වෙනස් කිරීම තුළින් මහ බැංකුව බලාපොරොත්තු වනුයේ බැංකු ණය පරිමාව වෙනස් කිරීමයි.

    මෙවැනි සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක දී පොළී අනුපාත ඉහළ දැමීමෙන් බැංකු ණය වර්ධනය අඩු කිරීමක් බලාපොරොත්තු වේ.

    කෙසේ වෙතත් මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීමෙන් පෙර කී සංකල්පයන්ට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවා ඇත.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යන වාණිජ බැංකුවල තැන්පතු වගකීම්වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු යැයි නියම කරන අනුපාතයයි. මෙම අනුපාතය බැංකුවල මුදල් මැවීමේ හැකියාව සීමා කිරීමට පනවන රෙගුලාසියකි. ඊට හේතුව, බැංකු වෙත ලැබෙන තැන්පතුවලින් සංචිත අනුපාතයට තැබිය යුතු මුදල් ප්‍රමාණය ණය දීමේ ක්‍රියාවලියෙන් ඉවත්වන බැවිනි.

    මෙහිදී සිදුකර ඇත්තේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ පහළ දැමීමකි. මෙය ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක දී අනුගමනය කරනු ලබන පියවරකි. මේ අනුව සංචිත අනුපාතය පහළ දැමීමෙන් වාණිජ බැංකුවලට මුදල් මැවීමේ හැකියාව හෙවත් ණය මැවීමේ හැකියාව ඉහළ යනු ඇත.