මහ බැංකු අධිපතිගෙන් කොටස් වෙළෙඳපොළට තල්ලුවක්

    August, 30, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ (28) දිනයේ දී වඩාත් සක්‍රීය වනු දක්නට ලැබුණි. මෙහිදී දිනය තුළ දී ඒකක 34.44 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 6,044.67 ක් ලෙසින් සටහන් විය. එසේම S&P SL20 දර්ශකය ඒකක 28.21 කින් ඉහළ ගොස් ඒකක 3,225.18 ක් ලෙසින් අද දින ගනුදෙනු අවසානයේ දී වාර්තා විය.

    මේ අතර ඊයේ දින ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියනයේ සීමාව ඉක්මවා යාම ද කැපී පෙනෙන කරුණක් ලෙසින් සඳහන් කළ හැකිය. එහිදී රුපියල් බිලියන 1.12 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර රු. මිලියන 938.40 ක දේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 189.29 ක විදේශීය මිල දී ගැනීම් ඒ අනුව වාර්තා වි තිබිණි. අද දිනයේ දී ශුද්ධ විදේශීය ගලා යාමක් සටහන් කරමින් විදේශීය විකුණුම් අගය රු. මිලියන 779.52 ක් වූ අතර දේශීය විකිණුම් රු. මිලියන 348.17 ක් විය.

    2018 වසරේ මේ දක්වා කාලය තුළ ශුද්ධ විදේශීය විකුණුම් වටිනාකම රුපියල් බිලියන 4 සීමවා ඉක්මවා තිබේ.

    මේ අතර පසුගිය අඟහරුවාදා (28) පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ 68 වන සංවත්සරික දේශනයේ සමාරම්භයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කළ ප්‍රකාශයක් අද දිනයේ දී කොටස් වෙළෙඳපොළ මෙයාකාරයෙන් ඉහළ නැගීමට ප්‍රධාන වශයෙන් හේතුවූ බව වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.

    එහිදී මහ බැංකු අධිපතිවාරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දැනට තිබෙන විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල නැවත වරක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කරා අවතීර්ණ වීම ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවයි.

    ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සිදුවීමත් සමඟම, අර්ථ සාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු 2015 වසරේ දී අත්හිටුවනු ලැබූ අතර ඒත් සමඟම දැවැන්ත ආයෝජන අරමුදලක සහභාගීත්වය කොළඹ කොටස් වෙළෙඳපොළට අහිමිවීම, පහළ පිරිවැටුම් වාර්තා වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපෑ බව විශ්ලේෂකයින්ගේ මතය විය.

    කෙසේ වෙතත් ඊයේ (29) දිනයේ දී මිල දර්ශක මෙයාකාරයෙන් ඉහළ යාමක් වාර්තා වීමත් සමඟින් සුළුපරිමාණ කොටස් ආයෝජකයින් ද සක්‍රීය අයුරින් ගනුදෙනුවලට සහභාගී වන බවක් වාර්තා වී තිබේ.

    දිනය තුළ දී ගිවිසා ගනු ලැබූ ගනුදෙනු 3 ක් වාර්තා විය. එහිදී රු. මිලියන 418.60 ක පිරිවැටුමක් වාර්තා වූ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිලියන 2.99 ක් රු. 140.00 බැගින් ගනුදෙනු වීම ශුද්ධ විදේශීය විකුණුම් වටිනාකම ඉහළ දමන්නට ප්‍රධාන වශයෙන් බලපා ඇත. මේ අතර පිළිවෙලින් රු. මිලියන 42 හා රු. මිලියන 28 බැගින් වූ සම්පත් බැංකුවේ හා කොමර්ෂල් බැංකුවේ ගනුදෙනු දෙකක් ද ගිවිසා ගනු ලැබූ ගනුදෙනු අතර විය.

    ඊයේ දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය වාර්තා වූ අයුරු හා කොටස් විශ්ලේෂණය සඳහා යොදා ගන්නා තාක්ෂණික ඇගයුම් ක්‍රම දෙකක් වන RSI හා MACD ශිල්පක්‍රමවලට අනුව වෙළෙඳපොළ හැසිරී ඇති ආකාරය පහත ප්‍රස්ථාර සටහන් මගින් දැක්වේ.