මාකුඹුර නව බස් පර්යන්තය ගැටළුවක් වෙයි. 138 හෝමාගම – පිටකොටුව බස් වර්ජනයක්

    April, 9, 2019

    පසුගිය දා විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වන කොට්ටාව මාකුඹුර බස් පර්යන්තය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුවක් හේතුවෙන් 138 හෝමාගම - පිටකොටුව බස් රථ වර්ජනයක් අද (09) උදෑසන ආරම්භ කර තිබේ.

    මේ හේතුවෙන් 138 බස් මාර්ගයේ හෝමාගම සහ මාකුඹුර නව පර්යන්තයෙන් ගමන් ආරම්භ කරනු ලබන සියලුම බස් රථ ධාවනය නොකිරීමට තීරණය කර ඇත.

    මෙම වර්ජනය සම්බන්ධයෙන් කළ විමසීමකදී මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, අදාළ වර්ජනය පිළිබඳ මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙමින් පවතින බවයි.

    මේ අතර හෝමාගම ප්‍රධාන බස් නැවතුමේ සිට ගමන් අරඹන ලද 138 හෝමාගම-පිටකොටුව බස් රථ ඇණියෙන් කොටසක්, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගමන් ආරම්භ කිරීමට යොදවා තිබීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 01 දින සිට හෝමාගම ප්‍රධාන බස්නැවතුමෙන් ගමන් අරඹන 138 බස්රථවල හිඟයක් ද වාර්තා වී තිබේ.