April, 22, 2020
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 පෙබරවාරි මාසයේ පැවති සියයට 8.1හි සිට 2020 මාර්තු මාසයේ දී සියයට 7.0 දක්වා පහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 පෙබරවාරි මාසයේ දී සියයට 16.3හි පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය, 2020 මාර්තු මාසයේ දී සියයට 14.1 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ 2020 මාර්තු මාසයේ ලක්ෂ්යමය උද්ධමනය සියයට 1.8ක් විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනෙස, 2020 පෙබරවාරි මාසයේ පැවති සියයට 4.5හි සිට 2020 මාර්තු මාසයේ දී සියයට 4.9 දක්වා ඉහළ ගියේය.
2020 මාර්තු මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට -1.3ක් ලෙස වාර්ත වූ අතර, ආහාර බෝග අස්වනු නෙලන කාලය වීම සහ කොවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ රජය මැදිහත් වී ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පහළ දැමීම හේතුකොට ගෙන ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් පහළ යෑම මේ සඳහා දායක විය. ඒ අනුව 2020 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයෙහි එළවළු, රතුළූණු, සහල් සහ පරිප්පු මිල ගණන්වල පහළ යෑම් වාර්තා විය. කෙසේ වුවද මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ (බුලත්) සහ සෞඛ්‍ය (සෞඛ්‍ය පරීක්ෂණ සඳහා සිදුකරනු ලබන ගෙවීම්) උප කාණ්ඩයන් හි අයිතමවල සිදුවූ මිල ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ඉහළ යෑම් මෙම මාසය තුළ දක්නට ලැබුණි.
පසුගිය මාස පහ තුළ දී අඛණ්ඩව පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ලක්ෂ්යමය පදනම මත මූලික උද්ධමනය, 2020 පෙබරවාරි මාසයේ දී පැවති සියයට 3.4 හි සිට 2020 මාර්තු මාසයේ දී සියයට 3.2 දක්වා පහළ යන ලදී. මේ අතර වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී පැවති සියයට 5.5 හි සිට 2020 මාර්තු මාසයේ දී සියයට 5.2 දක්වා සුළු වශයෙන් පහළ යන ලදී.
Video Story