මාස 31 ක් තුළ කොටස් වෙළෙඳපොළ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වේ

    October, 25, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18.63 කින් ඉහළ ගිය අතර එහි අගය ඒකක 6,436.97 ක් ලෙසින් වාර්තා විය.

    මෙහිදී වාර්තා වූ සුවිශේෂී සිදුවීම නම් මාස 31 ක කාලපරිච්ඡේදයක් තුළ වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම අද (25) දිනයේ දී වාර්තා වීමයි. අද දින ගනුදෙනු අවසානයේ දී දෛනික පිරිවැටුම රුපියල් මිලියන 135.94 ක් ලෙසින් දැක්වුණු අතර එය 2014 මාර්තු 17 දිනෙන් පසු වාර්තා වූ අවම පිරිවැටුමයි. 2014 මාර්තු 17 දින කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුමේ වටිනාකම රුපියල් මිලියන 90.9 ක් ලෙසින් වාර්තා වේ.

    මේ අතර අද දින ගනුදෙනු අවසාන වීමට මිනිත්තු 10 ක පමණ කාලයක් ඉතිරිව තිබිය දී රේණුකා ඇග්‍රි ෆුඩ්ස් සමාගමේ ගිවිසා ගනු ලැබූ (Crossing) කොටස් ගනුදෙනුවක් වාර්තා වූ අතර එම ගනුදෙනුව හරහා රුපියල් මිලියන 31.34 ක පිරිවැටුමක් වාර්තා විය. රේණුකා ඇග්‍රි ෆුඩ්ස් හි කොටස් 8,955,580 ක් රු. 3.50 බැගින් එහිදී ගනුදෙනු විය.

    ඒ හැරුණු විට දිනය තුළ ගනුදෙනුවලින් රුපියල් මිලියන 10 ඉක්ම වූ පිරිවැටුමක් වාර්තා කරන ලද්දේ ලයන් බෘෘවරි සමාගමේ සමාගම පමණි. එය රුපියල් මිලියන 15.81 ක් විය. ඊට අමතරව පිළිවෙලින් HNB (8.4), LOLC (6.28) ක් හා සිලෝන් ග්‍රේන් එලවේටර්ස් (5.35) ඉහළ දෛනික පිරිවැටුම් වාර්තා කළ සමාගම් අතර වූ අතර අනෙක් එකදු සමාගමක් හෝ රුපියල් මිලියන 5 ක් ඉක්මවූ පිරිවැටුමක් දිනය තුළ දී වාර්තා කරන්නට සමත් වූයේ නැත.

    දිනය තුළ දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 109.43 ක් හා දේශීය විකිණුම් රුපියල් මිලියන 127 ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 26.52 ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 8.92 ක් ලෙසින් වාර්තා විය.