මාස 5 කදී දුම්කොළ සමාගමේ කොටස් මිල සියයට 27 කින් පහළට

    October, 24, 2016

    2016 මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුළ දී ලංකා දුම්කොළ සමාගමේ කොටසක මිල සියයට 27 කින් පහළ ගොස් තිබේ. මෙම කාලපරිච්ඡේදය තුළ සමාගමේ කොටස් මිල හැසිරීම නිරීක්ෂණය කිරීමේ දී මේ බව අනාවරණය වේ.

    මේ අනුව පසුගිය මැයි 16 වන දින වන විට රු. 1,140.00 ක් දක්වා ඉහළ මිලකට ගනුදෙනු වුණු දුම්කොළ සමාගමේ කොටස් මිල 2016 ඔක්තෝබර් 24 වන දින විට රු. 830.20 දක්වා පහළ ගොස් තිබේ. මේ අනුව මාස 05 ක කාලපරිච්ඡේදයක් තුළ දී රු. 310.00 කින් සමාගමේ කොටස් මිල පහළ වැටී තිබෙන අතර එය 27% ක පහළ යාමකි.

    රජයේ බදු ප්‍රතිපත්ති අනුව දුම්කොළ නිෂ්පාදිත සඳහා පනවනු ලැබූ බදු ප්‍රතිශතය ඉහළ නැංවීම මෙලෙස කොටස් මිල පහළ යාම කෙරෙහි විශාල වශයෙන් බලපා තිබෙන අතර පසුගිය දා සෞඛ්‍යය අමාත්‍යවරයා පවසන් ලද්දේ දුම්වැටි සඳහා වැට් බදු අය කිරීමට ද ඉදිරියේ පියවර ගන්නා බවකි.

    මේ අනුව රු. 35.00 සිට රු. 42.00 ක් දක්වා මෑත කාලයේ දී මිල වැඩිවුණු වෙළෙඳපොළේ අලෙවි වන සාමාන්‍ය දුම්වැටියක මිල ඉදිරියේ දී රු. 55.00 දක්වා වැඩිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.